Local news

ඊශ්‍රායල – ලෙබනන් සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙයි

ඊශ්‍රායල – ලෙබනන් සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙයි

ලෙබනනය සහ ඊශ්‍රායලය තානාපතිවරුන් අතර වොෂින්ටනයේ පැවැත්වෙන හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

ඊශ්‍රායලයේ යෙචියෙල් ලෙයිටර් සහ ලෙබනනයේ නාඩා හමාඩේ මොවාඩ් මෙලෙස රූබියෝ සමඟ සාකච්ඡා සඳහා එක්වීමට නියමිත අතර එරට වේලාවෙන් පෙරවරු 11:30ට ආරම්භ වීමට නියමිතය.

මෙම සාකච්ඡාවල විශේෂ අරමුණ වන්නේ දකුණු ලෙබනනයේ ගැටුම අවසන් කිරීම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් 6,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

හෝමූස් කලාපයට එන අමෙරිකානු නෞකා වලට පහර දෙනවා – ඉරානය

හෝමූස් කලාපයට එන අමෙරිකානු නෞකා වලට පහර දෙනවා – ඉරානය

හෝමූස් කලාපයට පැමිණෙන ඕනෑම අමෙරිකානු සන්නද්ධ නෞකාවකට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවයි.

අමෙරිකාව ඉරාන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, පර්සියානු ගල්ෆ් කලාපයේ හෝ ඕමාන මුහුදේ පවතින කිසිදු වරායක් ආරක්ෂිත නොවන බවද ඉරානය සඳහන් කරයි.

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අරඹයි

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අරඹයි

අමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ආරම්භ කර ඇති බවත් ඒ අනුව නෞකා වලට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු නාවික හමුදාවේ අවහිර කිරීම් වෙත සමීප වුවහොත් ඉරාන ‘ප්‍රහාරක යාත්‍රා’ විනාශ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

මේ අතර ඉරානය ආපහු අමෙරිකාව සමග සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාව “අල්ලා ගැනීමට” සහ ඔහු කරන තර්ජන ගැන තමාට “කිසිදු බියක්” නොමැති බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

තම රට අමෙරිකා ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් තමන් මිය යාමට කැමැත්තෙන් සිටින බවද කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

කොන්දේසි නොමැතිව අමෙරිකාව සමඟ සංවාදයට විවෘත බවත් නමුත් වොෂින්ටනය ඉල්ලා සිටියහොත් ඉල්ලා අස්වන ලෙසට වන කිසිදු යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවද කියුබානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

“එහෙම උනොත් සටන් ඇති වෙයි, අරගලයක් ඇති වෙයි, අපි අපිවම ආරක්ෂා කරගන්නවා, අපිට මැරෙන්න ඕන උනොත් අපි මැරෙයි, මොකද අපේ ජාතික ගීය කියන විදියට, නිජබිම වෙනුවෙන් මැරීම ජීවත් වීමටයි.”

කියුබානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ, අමෙරිකානු NBC රූපවාහිනි නාලිකාවේ පැවැත් වූ Meet the Press වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉරාන සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකුට මරු කැඳවු ප්‍රහාර

ඉරාන සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකුට මරු කැඳවු ප්‍රහාර

ඉරානයට එල්ල කළ ප්‍රහාර වලින් සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම ප්‍රහාර වලින් සිසුන් 278 දෙනෙකු මියගොස් තවත් සිසුන් 196 දෙනෙකු සහ අධ්‍යාපන කාර්යය මණ්ඩල සාමාජිකයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.

පසුගිය පෙබරවාරි (28) වනදා සිට ආරම්භ වු අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මෙම මරණ වාර්තා වන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශය තවදුරටත් සඳහන් කළේ, පාසල් 933 ක්, සංස්කෘතික මධ්‍යස්ථාන 17 ක් ක්‍රීඩා ශාලා 36 ක් සහ ශිෂ්‍ය කඳවුරු 08 ක් විනාශයට පත්ව ඇති බවයි.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දෙන්න චීනය සූදානම්

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දෙන්න චීනය සූදානම්

අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට චීනය නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් සඳහන් කරයි.

අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීමට එක්වෙමින් චීන තානාපතිවරයා සඳහන් කළේ,

“ඔබ හැමෝම දන්නවා චීනය සහ ශ්‍රී ලංකාව වසර 2000ක පටන් සමීප සබඳතා පවත්වන කල්‍යාණ මිත්‍ර රටවල් දෙකක්. ලාංකිකයින් මුහුණ දෙන ඕනෑම දුෂ්කරතාවයකදී චීනය මුලින්ම ඉදිරිපත් වෙලා ඒ තත්ත්වයෙන් ගොඩ එන්න උදවු කරනවා.

වත්මන් යුදමය තත්ත්වයත් එක්ක ලාංකිකයින්ට ඉන්ධන හිඟයක් ඇතිවුණත් විශ්වාසයි චීනය තමයි මුලින්ම ඉන්ධන විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුණ රට. දිට්වා කුණාටු සමයේදීත් විනාශ වූ පාලම් වැනි දෑ ඉදිකිරීම් සිදුකරලා චීනය සහයෝගය ලබාදුන්නා.

ඒ වගේම චීනය බලාපොරොත්තු වෙනවා ලාංකිකයින්ට නිරන්තරයෙන් උදව් උපකාර කරන්න.”

මිනිසුන්ට පිහිට වන ජේසුස් වහන්සේ මමයි – ට්‍රම්ප්

මිනිසුන්ට පිහිට වන ජේසුස් වහන්සේ මමයි – ට්‍රම්ප්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලියෝ පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත මෙම විවේචනය සිදුකර ඇත.

පාප්වහන්සේ අපරාධ වලට කැමති අයෙකු බවත් තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන එක මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත.

පාප්වහන්සේට අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන Truth Social ගිණුමේ ඡායාරූපයක් පළ කර ඇති අතර එය මේ වනවිට ලොව පුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට මෙන්ම විවේචනයට ලක්ව ඇත.

අදාළ පින්තූරය මගින් තමන් ජේසුස් වහන්සේ බවට අර්ථගන්වා ඇති අතර තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිටවන සැබෑ ජේසුස් වහන්සේ කෙනෙකු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එමගින් නිරූපනය කර ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය නිදැල්ලේ සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය නිදැල්ලේ සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය නිදැල්ලේ සිටීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සඳහන් කරයි.

මන්ත්‍රී මුජිබුර් රහුමාන් සඳහන් කළේ,

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සමාජයේ විවිධ මත ඇතිවුණා. සහරාන්ගේ ප්‍රහාරය නිසා මුස්ලිම් සමාජයේ ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතු වුණා. ඒ නිසාම මේ පරීක්ෂණ ඉදිරියට යනවිට නොයෙක් කරුණු හෙළි වුණා.

එවැනි ප්‍රහාරයකට උදව් කරන්න කිසියම් කණ්ඩායමක් සිටියා ද කියා සොයා බැලිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි වී තිබෙනවා.

සහරාන්ට උඩින් කෙනෙක් සිටියා කියා තිබෙනවා. එවකට නීතිපතිවරයා කිවුවේ මෙය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ විශාල පිරිසක් සාක්ෂි ලබාදී තිබෙනවා.

සහාරන් මෙහෙයවූ කණ්ඩායමක් ඉන්න පුළුවන්. ඒ කණ්ඩායමත් සොයා බැලිය යුතු වෙනවා. ඔවුන් නිදැල්ලේ සිටීම මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ මහ මොළකරු ප්‍රකාශ කරනවා කියලයි.”

අවුරුදු සමයේ ක්‍රීඩා සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

අවුරුදු සමයේ ක්‍රීඩා සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරිපත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව තුළින් අදාළ උත්සව සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර ඇත.

ඒ අනුව ගම හරහා දිවීම, මැරතන් තරග, පාපැදි තරග වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට පෙර සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවත් ඒ සඳහා පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම වඩාත් යෝග්‍ය බව සඳහන් කරයි.

තවද උත්සව පැවැත්වෙන ස්ථානයේ මනාව සන්නද්ධ කරන ලද ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ඒ සඳහා අවශ්‍ය උපකරණ සහිත ස්ථානීය වෛද්‍ය පහසුකම් සහිත ස්ථානයක් පවත්වාගත යුතු බවද අදාළ මාර්ගෝපදේශ මාලාව මගින් දක්වා ඇත.

ඒ අනුව අදාළ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ⁣ට

බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ⁣ට

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 102කි.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 104.50කි.