Local news

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් හෝමූස් හරහා ගමන ආරක්ෂිතයි

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් හෝමූස් හරහා ගමන ආරක්ෂිතයි

ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයිද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

දින 14ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

දින 14ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

අමෙරිකාව විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බව එහි ප්‍රධාන කොන්දේසිය වේ.

මෙය දෙපාර්ශවයටම බලපාන “දෙපාර්ශවික සටන් විරාමයක්” (Double sided ceasefire) ලෙස හඳුන්වාදී ඇත.

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර ඇත.

ඉරානයට ගැහුවොත් වසර ගණනාවකට තෙල් සහ ගෑස් අහිමි කරනවා

ඉරානයට ගැහුවොත් වසර ගණනාවකට තෙල් සහ ගෑස් අහිමි කරනවා

අමෙරිකාව “රතු රේඛා” තරණය කර සිවිල් පහසුකම් වලට පහර දුන්නොත් කලාපයෙන් පිටත ප්‍රතිචාර දක්වන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.

ප්‍රහාර එල්ල කරමින් අමෙරිකාව සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ට “වසර ගණනාවක්” තෙල් සහ ගෑස් අහිමි කරන බවද ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.

මේ අතර දැනටමත් කලාපීය යුද්ධය ඉක්මනින් අවසන් නොකළහොත් එය “කොපමණ දුරක් පැතිරෙනු ඇත්ද යන්න පිළිබඳව අවසානයක් නොපෙනෙන” බව අමෙරිකානු හමුදා ප්‍රවීණයන්ගේ නායකත්වයෙන් යුත් උපදේශක කණ්ඩායමක් වන පොදු ආරක්ෂක හි දේශපාලන අධ්‍යක්ෂ නවීඩ් ෂා සඳහන් කරයි.

“යටිතල පහසුකම් වලට පහර දීමෙන් මෙම යුද්ධය වේගයෙන් අවසන් නොවේ. එය බොහෝ කාලයක් ඉදිරියට ගෙන යනු ඇත. අප කළ යුත්තේ මාර්ගයක් සොයා ගැනීම, යම් ආකාරයක ජයග්‍රහණයක් ප්‍රකාශ කිරීමට සහ මගක් සොයා ගැනීමයි.”

ඉරානයට ලබාදුන් අවසන් දිනය දීර්ඝ කරන්නැයි ඉල්ලයි

ඉරානයට ලබාදුන් අවසන් දිනය දීර්ඝ කරන්නැයි ඉල්ලයි

රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් “ක්‍රමානුකූලව ඉදිරියට” යමින් පවතින බැවින් ඉරානයට ලබාදුන් අවසන් දිනය දීර්ඝ කරන ලෙසට පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානයට ලබාදුන් අවසන් දිනය සති දෙකකට (දින 14කට) දීර්ඝ කරන ලෙසත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට අවසර ලබාදෙන ලෙසද පාකිස්ථාන අගමැතිවරයා විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂගේ අවසන් පැය 48ට

මහින්ද රාජපක්ෂගේ අවසන් පැය 48ට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වහාම දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.

මහින්ද රාජපක්ෂගේ වත්කම් සම්බන්ධ BC/2992/2015 දරන මෙම විමර්ශනය 2015 වසරේදී ආරම්භ කර ඇති අතර එතැන් සිට වසර 10ක් ගතවී ඇතත්, අදාළ තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.

ඒ අනුව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) (උ) වගන්තිය යටතේ කොමිසමට පැවරී ඇති බලතල ප්‍රකාරව අප්‍රේල් මස (10) වන දිනට හෝ ඊට ප්‍රථම එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බවට අවසන් වරට ලිඛිතව දැනුම් දී ඇත.

වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට අපොහොසත් වීම නව දූෂණ විරෝධී පනතේ 42 සහ 93 වගන්ති ප්‍රකාරව ‘දූෂණය’ නමැති වරද යටතට ගැනෙන අතර එවැනි වරදකට වරදකරු වන තැනැත්තෙකුට රුපියල් මිලියන හතකට නොවැඩි දඩයක්, වසර 7ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

සිදුකරන විම­ර්ශන දිගු කාල­යක් ප්‍රමාද වී ඇති එබැ­වින් අප්‍රේල් (10) වැනි දිනෙන් පසු අවශ්‍ය තොර­තුරු ලබාදීමට මහින්ද රාජපක්ෂට තවත් කාල­යක් ලබා නොදෙන බවද අල්ලස් කොමිසම දැනුම්දී ඇත.

මුදල් වංචා සිද්ධියට කිහිපදෙනෙක් අත්අඩංගුවට

මුදල් වංචා සිද්ධියට කිහිපදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන “රුපියල් බිලියන 13කට අධික” මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇත.

(NDB) බැංකුව මීට පෙර දැනුම් දුන් මුදල් වංචා සිද්ධිය සම්බන්ධව කළමනාකරුවෙකු සහ බැංකු පද්ධතියේ මුර පද ලග තිබූ තවත් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

NDB බැංකුව නිකුත් කර ඇති දෙවන ලිපිය අනුව, බලධාරීන් විසින් මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරෙන සියලුම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔවුන්ට බැංකු පද්ධතිය වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අවහිර කර ඇත.

ඉරාන ආරක්ෂක බලකායේ ගුවන්තොටුපොළවල් 3කට ප්‍රහාර

ඉරාන ආරක්ෂක බලකායේ ගුවන්තොටුපොළවල් 3කට ප්‍රහාර

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ගුවන් හමුදාවට අයත් ගුවන්තොටුපොළවල් තුනකට ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර ඇත.

තවද ඉරානයේ පිහිටි තෙවැනි පෙට්‍රෝ රසායනික සංකීර්ණයට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇත.

මේ අතර ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන මාධ්‍යස්ථානය වන කාර්ග් දූපත ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම්

උතුරේ ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම්

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් විය.

මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය සහ උතුරු ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු මතු කළ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීමේදී මෙන්ම වසා දමා ඇති මාර්ග කොටස් විවෘත කිරීමේදී මතුව ඇති ගැටලු හා ඊට ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් පිළිබඳ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය මෙන්ම ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

2025 වසරේ පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බවත් අනෙකුත් ඉඩම්ද ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දුන්නේය.

ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම කර්මාන්ත සහ ආර්ථික කටයුතු වෙනුවෙන් පවතින ඉඩම් කළමනාකරණය කර ගැනීම රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සොයා බලන ලෙසද උපදෙස් දුන්නේය.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල කටයුතු පිළිබඳවද මෙහිදී විමසා බැලුණු අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නියෝග සඳහා උපදේශක කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමද සිදු විය.

රනිල් රාජපක්ෂලා ඉවරයි.. මතක තියාගන්න ආය එන්නෑ

රනිල් රාජපක්ෂලා ඉවරයි.. මතක තියාගන්න ආය එන්නෑ

ලංකාවේ ආර්ථිකය අඩපණ වී ඇති බව පෙන්වීමට වසා දැමූ ඉන්ධන පිරවුම්හල් වල පැරණි ඡායාරූප යොදාගනිමින් විදේශීය මාධ්‍ය ආයතන දෙකක් රටට එරෙහිව වැරදි මතයක් ගොඩනැගීමට උත්සාහ කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

විදේශීය මාධ්‍ය වන අල් ජසීරා (Al Jazeera) සහ ඒඑෆ්පී (AFP) වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙලෙස කරුණු මත පදනම් නොවී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

ලංකාවේ ආර්ථිකය 5.2%ක වර්ධනයක් අත්කර ගනිමින් පවතින මොහොතක මෙලෙස සෘණාත්මක චිත්‍රයක් මවන්නට උත්සාහ කරන්නේ කාගේ උවමනාවකට දැයි අමාත්‍ය බිමල් රත්නායක ප්‍රශ්න කරයි.

සමහර විට පැරණි පාලකයන් නැවත බලයට ගෙන ඒමේ අභිලාෂයක් කිසිවකු තුළ පැවතිය හැකි වුවද රාජපක්ෂ සහ රනිල්ගේ නැවත පාලනයන් ඇති වීමට ජනතාව ඉඩ නොදෙන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“ලංකාවේ ආර්ථිකය 5.2%කින් වර්ධනය වෙද්දි, ඉතාම නෙගටිව් පින්තූර කරුණු මත පදනම් නොවී ඇයි කියන්නේ කියලා. කාගේ උවමනාවද ඉටු කරන්නේ.? සමහරවිට පරණ පාලකයා ගේන්න මොනවාහරි ආසාවක් තියනවාද දන්නෑ.

ඒවා වෙන්නෑ මේ රටේ. මේ රටේ ජනතාව අපිට වඩා හොද ආණ්ඩුවක් මිසක් අපිට වඩා නරක ආණ්ඩුවක් ගේන්නෑ. ඒක මතක තියාගන්න. ආය රාජපක්ෂලා රනිල්ලා එන්නෑ.. ඒවා ඉවරයි.”

බාල ගල්අඟුරු ගැන විශේෂ විගණන වාර්තාව එළියට

බාල ගල්අඟුරු ගැන විශේෂ විගණන වාර්තාව එළියට

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සිදුව ඇති බරපතල අක්‍රමිකතා සහ ඉන් රජයට සිදුව ඇති දැවැන්ත මූල්‍ය අලාභය පිළිබඳ තොරතුරු ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.

2025/2026 වාරය සඳහා ගල් අඟුරු සැපයීමට තෝරාගත් ඉන්දියානු සමාගම වන Trident Chemphar Limited, ලංසු කැඳවන දිනටත් ලංකා ගල් අඟුරු සමාගමේ නිසි පරිදි ලියාපදිංචි වී නොසිටි බව විගණනයේදී හෙළිදරව් වී ඇත.

ලියාපදිංචිය තහවුරු කරගත් සැපයුම්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවිය යුතු බවට කොන්දේසියක් පවතිද්දී ට්‍රයිඩන්ට් ඇතුළු ලියාපදිංචි නොවූ සමාගම් තිදෙනෙකු ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම හරහා ප්‍රසම්පාදන නීති උල්ලංඝනය වී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

මීට පෙර අවස්ථාවලදී ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ සමාගම්වලට පවා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ලියාපදිංචි නිර්නායක ලිහිල් කර තිබූ බවත් Trident Chemphar සමාගම විසින් සැපයූ මුල් නැව් තොග 9 පරීක්ෂා කිරීමේදී, ඒවායේ තාපජනන අගය බලාගාරයට අවශ්‍ය ප්‍රමිතියට වඩා අඩු මට්ටමක පැවති බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් විදුලිය ජනනය කිරීමේදී ගල් අඟුරු අධි-පරිභෝජනයක් සිදුව ඇති අතර ඉන් රජයට සිදුව ඇති ඇස්තමේන්තුගත අලාභය රුපියල් මිලියන 2,237.7ක් බව විගණන වාර්තාව පෙන්වා දෙන අතර පැටවුම් වරායේදී (Load Port) ගල් අඟුරු පරීක්ෂා කළ සමාගම සතුව ඒ සඳහා අවශ්‍ය වලංගු බලපත්‍ර හෝ ප්‍රතීතනතාවයක් නොතිබූ බව විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.

මෙම පරීක්ෂණ වාර්තාවල දත්ත සහ බලාගාරයේ පාලන ඒකකයේ දත්ත අතර පැහැදිලි පරස්පරතාවයක් තිබියදීත්, ඒ පිළිබඳ සොයා බැලීමට ලංකා ගල් අඟුරු සමාගම පියවර ගෙන නොතිබුණ අතර 2026 මාර්තු මාසය වනවිට ගල් අඟුරු නැව් 18ක් ගොඩබෑමට සැලසුම් කර තිබුණද, ලබාගෙන තිබුණේ නැව් 12ක් පමණක් බවද සඳහන් වේ.

ඒ අනුව නියමිත කාලයට ගල් අඟුරු තොග ගෙන්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි ජනනයට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බව විගණකාධිපතිවරයා අවධාරණය කළ අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම සහ අනෙකුත් කොන්දේසි උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ සැපයුම්කරුගෙන් රුපියල් මිලියන 2332.5ක දඩ මුදලක් අයකර ගත යුතු බවද විගණනය මගින් ගණනය කර ඇත.

ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම සඳහාත්, සිදුවිය හැකි ආර්ථික හා සමාජයීය බලපෑම් අවම කර ගැනීම සඳහාත් අවශ්‍ය නිර්දේශ රැසක් විගණන වාර්තාවේ 7 වන පරිච්ඡේදය මගින් ඉදිරිපත් කර ඇත.