Local news

ට්‍රම්ප් දිනෙන් දින පස්සට යද්දි අද බොරතෙල් මිලට මොකද වුණේ.?

ට්‍රම්ප් දිනෙන් දින පස්සට යද්දි අද බොරතෙල් මිලට මොකද වුණේ.?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර එළඹෙන අප්‍රේල් මස (06) දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමග බොරතෙල් මිලේ සුළු පහළ යෑමක් වාර්තා වේ.

ඒ අනුව අද (27) දින පෙරවරුව වනවිට ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර අමෙරිකානු බොරතෙල් (WTI) මිල 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස සටහන් වී ඇත.

උත්සව සමයේ රස කැවිලි නිෂ්පාදන මිල ඉහළ⁣ට.?

උත්සව සමයේ රස කැවිලි නිෂ්පාදන මිල ඉහළ⁣ට.?

ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ, බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල එළැඹෙන මැයි මාසය දක්වා වැඩි නොකරන බවයි.

පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි බවත් ගෝලීය තත්ත්වය විසින් ඇති කර තිබෙන බලපෑම තුළ බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැකගනිමින් පාරිභෝගිකයා පීඩාවට පත්වීම අවම වන ලෙස කළමනාකරණය කර ගැනීමේ අපේක්ෂාව බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය කාලය පුරාවටම රසකැවිලි අමුද්‍රව්‍ය මිල වැඩි වූ නමුත් කොවිඩ් කාලයෙන් පසුවද රස කැවිලි නිෂ්පාදන මිල වැඩි කිරීමක් සිදු නොකළ බව රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී සූරියප්පෙරුම සඳහන් කරයි.

මේ වනවිට අලුත් අවුරුදු කාලසීමාව සඳහා රස කැවිලි නිෂ්පාදන බෙදා හරිමින් තිබෙන බවත් කුමන අර්බුද පැමිණියද අලුත් අවුරුදු කාල සීමාව අවසන් වන තෙක් නිෂ්පාදන වල මිල වැඩි කිරීමක් සිදු නොකිරීමට තීරණය කළ බවද සභාපති එස්.එම්.ඩී සූරියප්පෙරුම සඳහන් කරයි.

මේ වනවිට මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වයන් තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇතිකර තිබෙන බලපෑම් පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධව සාකච්ඡා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා ඇත.

බලශක්ති ඇමති අධිකරණයට

බලශක්ති ඇමති අධිකරණයට

පවතින නඩු කටයුත්තක් වෙනුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (27) කොළඹ මහාධිකරණය වෙත පැමිණ ඇත.

2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පොෟද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.

එවක ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස ඔහු සේවය කර ඇති අතර එහිදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂ සහගත තත්ත්වයක් මෙම චෝදනාවට හේතුවී ඇත.

අඩි දෙකක් පස්සට ගත් ට්‍රම්ප් යුද්ධයේ පරාජය බාරගනී.?

අඩි දෙකක් පස්සට ගත් ට්‍රම්ප් යුද්ධයේ පරාජය බාරගනී.?

ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර එළඹෙන අප්‍රේල් මස (06) දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ඉරානයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවත් දෙපාර්ශ්වය අතර සාකච්ඡා “ඉතා හොඳින් සිදුවන” බවද සිය ‘truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර වලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් දෙවැනි වතාවටත් ඉරානයට පහරදීමට කල් ගන්නේ ලෝක වෙළදපොලට එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවෙන් ඉන්ධන ලංකාවට⁣

රුසියාවෙන් ඉන්ධන ලංකාවට⁣

පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට සංචාරයක නිරත දූත පිරිස අද (26) එකඟතාව පළකර ඇත.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, අනිල් ජයන්ත සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළකර ඇත.

සුරේෂ්⁣ සලේට අධිකරණයෙන් නියෝග

සුරේෂ්⁣ සලේට අධිකරණයෙන් නියෝග

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අප්‍රේල් මස (22) වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

අදාළ නඩුකරය අද (26) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර විසින් මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත නිකුත් කරනු ලැබීය.

විමර්ශනයට අදාළව සැකකරු මේ වනවිට රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටියද ඔහු මෙම නීති කෘත්‍යයේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති බැවින් නඩුව කැඳවන අවස්ථාවේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව එහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

මෝටර් රථ කිහිපයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (26) මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මත හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව) අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මත හිටපු සහකාර කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සලේ අත්අඩංගුවට ගැනීම පළිගැනීමක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සලේ අත්අඩංගුවට ගැනීම පළිගැනීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන  පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ තවත් කමිටු හය හතකම  වාර්තාවල හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ නම සඳහන්ව නොතිබූ බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.

එනිසා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම තනිකරම පළිගැනීමක් බවත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීම කුහක ගුණමකු දේශද්‍රෝහී ක්‍රියාවක් බවද හිටපු අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මේ බව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි.?

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි.?

මේ වනවිට මැදපෙරදිග පවතාන යුදමය වාතාවරනය හේතුවෙන් ලංකාව තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි විභාග කටයුතු දින කිහිපයකින් පමණක් කල් දැමීමට සිදුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා ජනරාල් කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපි දැන් යම් කිසි ආකාරයකින් විභාග පිටුපසට යාමට පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගය එහෙම දින කිහිපයකින්. නමුත් අප්‍රේල් (10) වෙනිදා පාසල් නිවාඩුව ලබා දෙනවා. ඒ නිසා ඔවුන්ට දවස් කිහිපයක් තමයි පාසල් කාලය අහිමි වෙන්නේ. ඒ වගේ දේවල් බලපාන්න පුළුවන්.

ඒවාට අපි ආයතන මට්ටමින්, අමාත්‍යංශ මට්ටමින් තොරතුරු රැස්කරගෙන රාජ්‍ය සේවය විධිමත් කිරීමේ කමිටුවට අමාත්‍යංශ ලේකම්වරුන් හරහා තොරතුරු රැස්කරගෙන මේ ආකාරයට යම් කිසි පසුබෑමක් සිදුවුණා නම් ඒකට ඉදිරියේදී වැඩිපුර එක දවසක් වැඩ කරන්න වේවි.”

රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා ජනරාල් කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කරයි.

සජිත් නියම වෙලාවට බලය අරන් රටේ ජනතාව සුඛිත මුදිත කරනවා

සජිත් නියම වෙලාවට බලය අරන් රටේ ජනතාව සුඛිත මුදිත කරනවා

පොදු අරමුණකට විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතු විය යුතු බවට සඳහන් කළද රටේ අනාගතයට අවැසි නායකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බලය ගන්න වෙලාවට බලය අරන් රටත් හදලා රටේ ජනතාව සුඛිත මුදිත කරන යුගයක් නිර්මාණය කරන බවද මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කරයි.

මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කළේ,

“ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. නාමල් රාජපක්ෂලා නැවත බලයට ගේන්න කවුරුහරි ඉන්නවා නම් ඒක එයාලගේ අයිතියක්.

සැබෑ නායකයා කවුද කියන කාරණය තේරුම් ගන්න බැරිවුනා. ඡන්ද දායකයාට එහෙම වුණා. ඒකයි අපි කියන්නේ. රටට අනාගතයට අවැසි නායකයා බුද්ධිමත් විදිහට රටේ පුරවැසියාගේ ප්‍රශ්නයට සැබැවින්ම හිටගන්න නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා.

බලය ගන්න වෙලාවට බලය අරන් රටත් රටේ ජනතාවත් සුඛිත මුදිත කරන යුගය අපි නිර්මාණය කරනවා.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී චමින්ද විජේසිරි මේ බව සඳහන් කරයි.