Local news

අමෙරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි අමෙරිකානු කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ගුවන් ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි (28) සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් තුවාල ලබා, 13 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්

රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්

තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව⁣ වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයින්⁣ට දන්වා එම වංචාව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම කාඩ් පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට කටයුතු කරන බව තැපැල්පති ආර්.පී සත්කුමාර සඳහන් කරයි.

එනිසා නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ලයන්ට හෝ වෙබ් අඩවි වලට ලබා නොදෙන ලෙසද තැපැල්පති ජනතාවට දැනුම් දෙයි.

දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන නැවක් ලංකාවට

දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන නැවක් ලංකාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගියදා සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික දුරකථන සාකච්ඡාවකින් පසුව ලංකා IOC සමාගම වෙත ඉන්ධන නැවක් එවීමට ඉන්දීය තෙල් සමාගම (IOC) තීරණය කර ඇත.

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුවූ අතර ඒ අනුව ඉන්දීය තෙල් සමාගමෙන් ලංකා IOC සමාගමට මෙම ඉන්ධන තොග ලැබීමට නියමිතය.

දැනටමත් ඉන්දීය තෙල් සමාගමට අයත් එක් නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති අතර මෙට්‍රික් ටොන් 38,000ක ධාරිතාවයක් යුත් මෙම නැවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ඇතුළත්ය.

රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස, ලංකා IOC සමාගම විසින් කලින් අවලංගු කර තිබූ ඇණවුමක් ද නැවත සක්‍රීය කර ඇත.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මනුෂ්‍යත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මනුෂ්‍යත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් (27) වන දින චීන ධජය සහිතව දිවයිනට ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හට ඇති වූ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොඩබිමට රැගෙන ඒමට (MEDEVAC) සහාය විය.

ශ්‍රී ලංකාවේ සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ කලාපයට ආසන්නව, නාවික සැතපුම් 700ක් පමණ දුරින් මෙම නෞකාව යාත්‍රා කරමින් සිටියදී මෙම හදිසි අවස්ථාව පැන නැගී ඇත.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන් ධීකරණ මධ්‍යස්ථානය වෙත හදිසි ආපදා ඇමතුමක් ලැබුණු වහාම නාවික හමුදාව ක්ෂණිකව ඒ සඳහා ක්‍රියාත්මක විය.

කොළඹ සමුද්‍රිය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අදාළ නෞකාව ගාල්ලේ වරාය සීමාව වෙත පැමිණීම සම්බන්ධීකරණය කරන අතරතුර, නාවික හමුදාව විසින් නෞකාවේ කාර්ය මණ්ඩලය වෙත අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කළ අතර රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් කඩිනමින් පිටකර හරින ලදි.

ඒ අනුව (27) උදෑසන ගොඩබිමට රැගෙන ආ රෝගියා, නාවික හමුදාවේ මඟපෙන්වීම යටතේ සහ එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සම්බන්ධීකරණයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ නිරතුරුව සම්බන්ධීකරණය වෙමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ කලාපය තුළ පීඩාවට පත්වන නාවික සහ ධීවර ප්‍රජාවට සහාය වීම සඳහා නිරන්තර අවධානයෙන් පසුවෙයි.

අමෙරිකාවේ FBI ප්‍රබලයාට උන්හිටි තැන් අහිමි කළ ඉරාන හැකර්වරු

අමෙරිකාවේ FBI ප්‍රබලයාට උන්හිටි තැන් අහිමි කළ ඉරාන හැකර්වරු

අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් වෙත සාර්ථකව ප්‍රවේශය ලබාගත් බව ඉරානයට සම්බන්ධ හැකර්වරු කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇත.

ඉරානයට සම්බන්ධ හැකර්වරු විසින් අධ්‍යක්ෂවරයාගේ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව යැයි සැලකෙන ලේඛන අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාර්ථකව හැක් කරන ලද ගොදුරු බවට පත්වූවන්ගේ ලැයිස්තුවට දැන් පටෙල්ගේ නම ඇතුළත් වන බව හැකර් කණ්ඩායම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මෙම කණ්ඩායම ඉරාන සයිබර් බුද්ධි අංශයට සම්බන්ධ බවත් දකුණු ඉරානයේ මිනාබ් හි ළමා පාසලකට එල්ල කළ අමෙරිකා – ඊශ්‍රායල් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙය සිදුකළ බව බටහිර පර්යේෂකයින් සඳහන් කර ඇත.

සුඛෝපභෝගී බස් රථයක් අධිවේගයේ ගිනි ගනී

සුඛෝපභෝගී බස් රථයක් අධිවේගයේ ගිනි ගනී

අද (27) කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආසන්නයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇත.

ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එම ගින්නෙන් මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.

සෑම බදාදා දිනකම උපකාරක පන්ති අත්හිටුවන්න

සෑම බදාදා දිනකම උපකාරක පන්ති අත්හිටුවන්න

බදාදා නිවාඩු දිනයේ උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති ප්‍රකාශයක් කර ඇත.

ඒ අනුව සතියේ සෑම බදාදා දිනම සියළුම ආකාරයේ උපකාරක පන්ති අත්හිටුවන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නැවත දැනුම්දෙන තුරු සතියේ සෑම බදාදා දිනම රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර එම නිවාඩුව රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා බලපැවැත්වෙයි.

වහාම මිලියන 75ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට නියෝග

වහාම මිලියන 75ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට නියෝග

පසුගිය 2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Transpirancy International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බව එම නඩු තීන්දුවේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50ක මුදලක්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50ක මුදලක් රජයට ගෙවිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ.

තවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් මිලියන 50ක් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවද එම තීන්දුවේ සඳහන් වේ.

බලශක්ති ඇමතිට අධිචෝදනා

බලශක්ති ඇමතිට අධිචෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ අද (27) අධිචෝදනා පත්‍ර භාරදී ඇත.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. 

චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

අනතුරුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි (06) වනදා යළි කැඳවීමට නියම කර ඇත.