Local news

ඉරාන යුද්ධය නිසා ට්‍රම්ප්ට කැමැත්ත අහිමිවෙයි

ඉරාන යුද්ධය නිසා ට්‍රම්ප්ට කැමැත්ත අහිමිවෙයි

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් කෙරෙහි එරට ජනතාව තුළ තිබෙන ජනප්‍රියතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබූ ජනප්‍රියතාව 36%කින් පහළ බැස ඇති බව අදාළ වාර්තාවල දැක්වෙයි.

එය පසුගිය සතියේ අනුමත ශ්‍රේණිගත කිරීමට වඩා ලකුණු හතරකින් පහත වැටීමක් සහ ඔහුගේ දෙවන ධූර කාලය ආරම්භයේදී ඔහුගේ 47%ක අනුමත ශ්‍රේණිගත කිරීමට වඩා ලකුණු 11කින් පහත වැටීමකි.

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය අද (25) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී වූයේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු Santosh Jha විසින් ආරක්‍ෂක ලේකම්වරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථා හඳුනා ගැනීම සහ නව සබඳතා ගොඩනැගීම” (Identifying New Opportunities and Forging New Bonds) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය මෙවර පැවතියේ තුන්වන වතාවට වීම විශේෂත්වයකි.

එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ, දිනෙන් දින වර්ධනය වන ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, දෙරට අතර අන්‍යොන්‍ය විශ්වාසය සහ පොදු ආරක්ෂක අවශ්‍යතා මත පදනම් වූ දීර්ඝකාලීන සබඳතාවක් බවයි.

තවද, ඉන්දියාව තුළ වේගයෙන් දියුණු වන ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍ර සඳහා ඉතා වටිනා අවස්ථාවන් සැලසෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වඩා විශ්වාසදායී සහ පිරිවැයමය වශයෙන් ඵලදායී නූතන තාක්ෂණික මෙවලම් සඳහා ප්‍රවේශය ලැබීම මෙන්ම ඊට අදාළ පුහුණුව, තාක්ෂණික හුවමාරුව සහ ඒකාබද්ධ ව්‍යාපාර සඳහා පවතින අවස්ථා මගින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමටත්, දෙරට අතර දිගු කාලීන උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇත.

සලේ ඉස්පිරිතාලේ

සලේ ඉස්පිරිතාලේ

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව වාර්තා වේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර අනතුරුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇත.

න්‍යෂ්ටික ව්‍යාපෘති පුළුල් කරා – කිම් ජොන්ග්

න්‍යෂ්ටික ව්‍යාපෘති පුළුල් කරා – කිම් ජොන්ග්

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්‍රියාකලාපය පිළිබඳව හුවා දක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, එරට න්‍යෂ්ටික ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියෙන් හැඩගැසුණු ලෝකයක, යම් රටක ආරක්ෂාව තීරණය වන්නේ ශක්තිමත් හමුදා බලයක් ඇත්නම් පමණක් බව කිම් ජොන්ග් උන් සඳහන් කරයි.

උතුරු කොරියාව යනු තවදුරටත් තර්ජනයට ලක්ව ඇති රටක් නොවන බව තමන්ට තහවුරු කළ හැකි බවත් අවශ්‍ය නම් තර්ජනයක් එල්ල කිරීමේ බලය දැන් උතුරු කොරියාව සතු වන බවද කිම් ජොන්ග් උන් සඳහන් කරයි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග 2019 වසරේ පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීම සහ සම්බාධකවලට ඔරොත්තු දිය හැකි ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම තමන් ගත් හොඳම තීරණය බවද කිම් ජොන්ග් උන් සඳහන් කරයි.

යුද්ධය අවසන් නෑ.. ඉරාන ගොඩබිම් ආක්‍රමණයකට අමෙරිකාව සැරසෙයි

යුද්ධය අවසන් නෑ.. ඉරාන ගොඩබිම් ආක්‍රමණයකට අමෙරිකාව සැරසෙයි

පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවක් ඇති, අමෙරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මගී බලකායේ (82nd Airborne Division) සාමාජිකයින් 1,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යැවීමට අමෙරිකානු බලධාරීන් සූදානම් වන බව අද (25) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවක් ඇති එවැනි හමුදා භටයින් 3000ක් පමණ මැද පෙරදිගට යෑමට නියමිත බව ඇතැම් වාර්තාවල දැක්වෙයි.

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ෆෝට් බ්‍රැග් (Fort Bragg) කඳවුරේ ස්ථානගත කර සිටින අමෙරිකාවේ 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ පැරෂුට් ආධාරයෙන් ගොඩබැසිය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සතිය අගදී තවත් අමෙරිකානු මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයින් රැගත් නෞකා කිහිපයක් මැදපෙරදිගට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර විශ්ලේෂකයින් පවසන්නේ, අමෙරිකාව ඉරානය ඉලක්ක කර ගනිමින් කිසියම් ගොඩබිම් මෙහෙයුමක් වෙනුවෙන් හමුදා බලඇණි සූදානම් කරමින් සිටින බවයි.

අමෙරිකාව සිදුකරන ඕනෑම ගොඩබිම් ආක්‍රමණයක් ඉරාන හමුදාව සාදරයෙන් පිළිගනු ඇති බව ඉරානයේ මහාචාර්ය ෆෝඩ් ඉසාඩි (Foad izadi) විදෙස් මාධ්‍යය සමග සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කරයි.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29ක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29ක් අත්අඩංගුවට

මෙරටට මත්ද්‍රව්‍ය සපයන ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් සඳහන් කරයි.

පාතාලය එක්ක බැඳුන අවි ජාවාරමක් තියෙන බවත් මත්ද්‍රව්‍ය, පාතාලය හා නීතිවිරෝධී අවි සමග කළු බිස්නස් එක පිටුපස දේශපාලන අධිකාරිය සිටිය බවද නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් සඳහන් කළේ,

“මේ කළු බිස්නස් එකේ අංග දෙකක් තියෙනවා. එකක් සැපයුම් ජාලය. අනිත් එක ඩිමාන්ඩ් එක. ත්‍රිකුණාමලය වරායට බෝට්ටුවකින් අරන් එනවා. ඒ ගන්න එක මෙහෙ ඉන්න තරුණයෝ පාවිච්චි කරනවා.

ඉතින් අපි කල්පනා කරා මේ ඩිමාන්ඩ් එක නැති කරන්න. මේ සැපයුම් ජාලයට කලින් ආණ්ඩු අත ගැහුවේ නෑ. හැබැයි වත්මන් ආණ්ඩුව තීරණයක් ගත්තා සැපයුම් ජාලය නැමති දාමයේ ඉහළම පුරුක්වලට යන්න ඕනේ. මේ පුරුක් වෙරළෙන් නතර වුණා.

මේ පුරක් ගුවන් තොටුපොළෙන් නතර වුණා. අපේ පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ඉන්දුනීසියාවට, නේපාලනයට, පාකිස්තානයට ගිහින් මේ වෙද්දි අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවා. ප්‍රබලතම සැපයුම්කරුවන් 29ක් අපේ අතේ තියෙනවා.

විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවෝ පාපොච්චාරණය කරනවා. එතකොට සමහර අය කලබල වෙලා නම් තියෙනවා. අපි දන්නවා මේකට බිස්නස් 3ක් සම්බන්ධයි. මත්ද්‍රව්‍ය එක්ක බැඳුන පාතාලයක් තියෙනවා.

පාතාලය එක්ක බැඳුන අවි ජාවාරමක් තියෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය හා නීතිවිරෝධී අවි සමස්ත මේ කළු බිස්නස් එක වෙලාගෙන ඉන්නවා. මේක වැඩුණේ දේශපාලන අධිකාරිය පිටුපස හිටියා. දියවන්නාව තමා මේක පෝෂණය කළේ. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර පෝෂණය කළේ මේ කළුබිස්නස් එක හරහා එන සල්ලි වලින්.”

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් වැඩසහටන එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය හේතුවෙන් ගින්නක් හටගෙන ඇත.

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකියක් ඉලක්ක කර ගනිමින් එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන කණ්ඩායම් එම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

බලශක්ති ඉල්ලුම අඩු කිරීම සඳහා ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග

බලශක්ති ඉල්ලුම අඩු කිරීම සඳහා ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග

අත්‍යවශ්‍ය භාවිතයන් සඳහා ඉන්ධන සංරක්ෂණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් දැක්වෙයි.

*අධිවේගී මාර්ගයේ වේග සීමාවන් අවම වශයෙන් පැයට කිලෝමීටර 10කින් අඩු කිරීම.

*හැකි සෑම අවස්ථාවකම නිවසේ සිට වැඩ කිරීම.

*විශාල නගරවල මාර්ග භාවිත කිරීමේදී පෞද්ගලික වාහන සඳහා විකල්ප යෝජනා කිරීම.

*පොදු ප්‍රවාහනය භාවිත කිරීම දිරිමත් කිරීම.

*මෝටර් රථයක එකතු වී ගමන් කිරීම සහ කාර්යක්ෂම රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කිරීම.

*වාණිජ භාණ්ඩ බෙදා හැරීමේදී කාර්යක්ෂමව රිය ධාවනය කිරීම.

*ගුවන් ගමන් අවම කරන්න.

*ප්‍රවාහන කටයුතු සඳහා LP ගෑස් භාවිතයට නොගැනීම.

*හැකි සෑම විටම ඉවුම් පිහුම් සඳහා වෙනත් ක්‍රමවේද භාවිතයට යොදා ගැනීම.

*ඛනිජ රසායනික අමුද්‍රව්‍ය සමග නම්‍යශීලීභාවය භාවිත කිරීම සහ කෙටි කාලීන කාර්යක්ෂමතාව සහ නඩත්තු පියවර ක්‍රියාත්මක කිරීම.

*රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.

*අනවශ්‍ය ගමන් බිමන් සහ විනෝද චාරිකා යාමෙන් වැළකී සිටීම.

මේ වනවිට මැද පෙරදිග කලාපයේ පවතින යුද්ධය හමුවේ ඉන්ධන වෙළෙඳපොළට එල්ල වන බාධා හේතුවෙන් පාරිභෝගිකයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත.

මේ අතර ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේය.

ලංකාවේ තේ සඳහා මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ තේ සඳහා මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක්

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණයත් සමග ජනතාව ආහාර තොග රැස් කිරීමට පෙළෙඹීම හේතුවෙන් එම රටවලින් තේ සඳහා ඉහළ ඉල්ලුමක් මේ දිනවල වාර්තා වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.

මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ සතියේ මෙරට තේ වෙන්දේසියේදී යම් පසුබෑමක් වාර්තා වුවද ඊට පසු පැවති තේ වෙන්දේසිවලදී තේ මිල හා තේ ඉල්ලුම යථා තත්ත්වයට පත්වූ බවද එම මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හා ඒ ආශ්‍රිත ගැටුම් හේතුවෙන් කුවේටය, සෞදි අරාබිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයකට තේ අපනයනය ඇණහිට ඇති බවද එම මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.

මැදපෙරදිග කලාපයේ සෙසු රටවලට විකල්ප මාර්ග ඔස්සේ තේ අපනයනය මේ වනවිට ආරම්භ කර ඇති බවත් තුර්කිය සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට මේ වන විටත් තේ තොග සැපයීම ආරම්භ කර ඇති බවද සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.

ඒ අනුව මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට තේ වෙළඳපොළට එල්ල වී ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.

මහ බැංකුවෙන් දැනුම්දීමක්

මහ බැංකුවෙන් දැනුම්දීමක්

මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට (24) දින තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමාට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් සහ විශේෂයෙන් මැදපෙරදිග ගැටුමෙන් පැන නඟින අවිනිශ්චිතතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

නවතම දත්ත සහ පවතින අවිනිශ්චිතතාවයන් සැලකිල්ලට ගෙන, 2026 දෙවන කාර්තුවේදී උද්ධමනය 5%ක ඉලක්කයට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.