Local news

ඉරානයට එරෙහි යුද්ධය ජයගෙන අවසන් – ට්‍රම්ප්

ඉරානයට එරෙහි යුද්ධය ජයගෙන අවසන් – ට්‍රම්ප්

ලෝකයම මහත් නොසන්සුන්තාවයකින් බලා සිටි අමෙරිකා සහ ඉරාන යුද ගැටුම් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

අමෙරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරානය මිලිටරිමය වශයෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඉරානය සමඟ පැවති යුදමය තත්ත්වය අමෙරිකාව ජයගෙන ඇති බවත් ඉරාන හමුදාවන්ට නැවත හිස එසවීමට නොහැකි වන පරිදි දැඩි ප්‍රහාර එල්ල කර ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම ඉරානයේ ප්‍රධාන ආරක්ෂක ස්ථරයන් වන නාවික සහ ගුවන් හමුදා බලඇණි සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අමෙරිකානු හමුදාව සමත් වූ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

“අපි මේ යුද්ධය ජයග්‍රහණය කළා. ඉරානය මිලිටරිමය වශයෙන් දැන් අවසන්. ඔවුන්ගේ නාවික සහ ගුවන් හමුදා බලය අපි සම්පූර්ණයෙන්ම විනාශ කළා.”

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ මෙන්ම සමස්ත ලෝක දේශපාලනයේම උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් ඉරාන පාර්ශවයෙන් මේ දක්වා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවට ඉරානය විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය දැනුවත් කර ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජනයක්.. නව රවුටර් භාවිතය තහනම්

ජාතික ආරක්ෂාවට තර්ජනයක්.. නව රවුටර් භාවිතය තහනම්

ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද සියලුම නව පාරිභෝගික අන්තර්ජාල රවුටර් (Consumer Internet Routers) අමෙරිකා එක්සත් ජනපදය තුළ භාවිතා කිරීම තහනම් කිරීමට එරට ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) පියවර ගෙන ඇත.

සයිබර් ප්‍රහාරකයන් විසින් කුඩා කාර්යාල සහ නිවෙස්වල භාවිත කරන රවුටර් පද්ධතිවල පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් දත්ත සොරාගැනීමේ සහ යටිතල පහසුකම්වලට හානි කිරීමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන තිබීම මෙයට හේතුව බව ඔවුන් සඳහන් කරයි.

මෙම තහනම මූලික වශයෙන් අමෙරිකාවෙන් බැහැර රටවල නිෂ්පාදනය කරන ලද නව උපාංග මාදිලි සඳහා බලපැවැත්වෙන බව ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සඳහන් කරයි.

රනිල්, සජිත්, නාමල්, දිලිත් එකට එකතු වී ජාත්‍යන්තරයට දුක කියයි

රනිල්, සජිත්, නාමල්, දිලිත් එකට එකතු වී ජාත්‍යන්තරයට දුක කියයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක් යොමුකර ඇත.

නීතිඥවරුන්, වෘත්තිකයින්, මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ට එල්ල වන බලපෑම්ව ලට එරෙහිව මෙම ලිපිය යොමුකර ඇති අතර එමගින් පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයා සහ පොලිසිය දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවයි.

ජාත්‍යන්තර නීති සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල නීති සංගමය, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, අම්නෙස්ට් ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච් සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයකට මෙම ලිපිය යොමුකර ඇත.

මෙම ලිපිය සඳහා විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් රැසක නායකයින් අත්සන් තබා ඇති අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙයි.

යෝජිත ත්‍රස්ත විරෝධි පනත මගින් ඉහළ යන ජනතා අතෘප්තිය මර්දනය කිරීමට උත්සාහ දරන බවද, ඒ හරහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය වන බවද මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.

එනිසා සියලු ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන මෙම තත්ත්වය පිළිබඳ දැනුවත් කරන බවත් සුදුසු මැදිහත්වීමක් කරන ලෙසත් විපක්ෂයේ පක්ෂ නායකයින් ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා ඇත.

අගමැති මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

අගමැති මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

අද (24) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇත.

මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කළහ.

මුළු ලෝකයේම යහපත සඳහා නැව් මාර්ග විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම නායකයින් දෙදෙනාම නැවත අවධාරණය කළහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී නායකයින් දෙදෙනා සමාලෝචනය කළේය.

තවද කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර ඇත.

ඉන්දියාවේ අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තියට සහ මහාසාගර් දැක්මට අනුකූලව බෙදාගත් අභියෝගවලට මුහුණ දීම සඳහා සමීපව එක්ව කටයුතු කිරීමට ඉන්දියාවේ ස්ථිර කැපවීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.

අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීම යළි තහවුරු කළේය.

අමතර ගාස්තුවක් අය කිරීමකින් තොරව QR පද්ධතියක්

අමතර ගාස්තුවක් අය කිරීමකින් තොරව QR පද්ධතියක්

ආර්ථික කාර්යක්ෂමතාව, මූල්‍ය අන්තර්ගත භාවය (Financial Inclusion) සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇත.

රට තුළ එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු (Cash) භාවිත කරන අතර එමඟින් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සීමා වී ඇත. 

Lanka QR යටිතල පහසුකම් මේ වන විට මුල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකතන යෙදුම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මකව පැවතුනද, සාපේක්ෂව ඒවායේ සක්‍රීය භාවිතය අඩු මට්ටමක පවතී.

2025 වසරේ තුන්වන කාර්තුව තුළදී LankaQR හරහා දළ වශයෙන් ගනුදෙනු 274,000ක් වාර්තා වී ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.18ක් පමණ වේ. 

එය සාමාන්‍යයෙන් මාසයකට ගනුදෙනු 90,000ක් පමණ වන අතර රුපියල් මිලියන 390ක පමණ වටිනාකමකි. ඒ අනුව QR කේතය හරහා සිදු කරනු ලබන සාමාන්‍ය ගනුදෙනුවක වටිනාකම රුපියල් 5,000කට වඩා අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය වේ. 

එම කරුණු සැලකිල්ලට ගනිමින්, ඒ සම්බන්ධයෙන් 2026 අයවැය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුගතව රුපියල් 5,000ට අඩු ගනුදෙනු සඳහා මුදල් යවන්නාට මෙන්ම ලබා ගන්නාටද කිසිදු අමතර ගාස්තුවක් අය කිරීමකින් තොරව QR කේතය පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

පාසල් සිසුවියන්ට තිළිණ පත් දෙකක්

පාසල් සිසුවියන්ට තිළිණ පත් දෙකක්

පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් වැඩි වියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන, මෙම වසරේදී සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව එක් සිසුවියකට රුපියල් 1,440ක් වන සේ රුපියල් 720ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් බැගින් ලබාදීමට තීරණය කර ඇත.

සිය අභිමතය පරිදි රුපියල් 120 බැගින් වූ තුවා 08ක් සහිත පැකට් 12ක් හෝ රුපියල් 180 බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක් වර්ෂය තුළදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන අයුරින් 2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

ඉන්ධන මිල වැඩි කිරීම ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල වැඩි කිරීම ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

තෙල් මිල වැඩි කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බවත් තෙල් මිල සූත්‍රය කියන්නේ අමුතු සූත්‍රයක් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ,

“තෙල් මිල කියන එක තෙල් මිල සූත්‍රයට අනුව තමයි වැඩි කළේ. තෙල් මිල සූත්‍රය කියන්නේ අමුතු සූත්‍රයක් නෑ. තෙල් ගේන ගාණ තියෙනවා. යන වියදම තියෙනවා. ඕකට ඇර වෙන එකක් නෑනේ. 

ඇමතිතුමා අදහස් කරන්න ඇත්තේ, රුපියල් 100ක් රජය විසින් භාර ගත්තාම එතකොට මිල සූත්‍රයට අනුව එන්න ඕනේ ගාණනට නෙමෙයි තියෙන්නේ. ඊට වැඩිය අඩු ගාණකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කරන්නේ මිල සූත්‍රයට අනුව හදලා රජයට ඒක දැනුම්දෙනවා.

ඊට පස්සේ රජය තමයි තීරණ කරන්නේ. එතකොට සංස්ථාව විසින් ඉදිරිපත් කරන්නේ තමන් ගෙන්වන ලද මිල සහ තමන්ට යන වියදම කියන එක මිස වෙන මොකුත් ජාතියක් ඔය සූත්‍රයේ නැහැ. 

මාසකට වතාවක් ඒ මිල සූත්‍රය ගණනය කරේ මාසක ඇවරේජ් එක එක්ක නෙමෙයි. ඒ මාසයේ ගෙන්වන ලද තොග එක්ක තමයි ගණන් ගත්තේ දැන් ප්‍රශ්නය තියෙන්නේ එහෙම කරන්න පුළුවන් කම තිබුණේ මාසයක් ඇතුළත නියමිත මිල සාමාන්‍ය වෙනස්වීමක් තිබුණේ නැහැ.

එතකොට තමයි මාසයකට සැරයක් අරගෙන ගණනය කරන්නේ. එතකොට දැනුත් ගණනය කරන්නේ එහෙමයි. දැන් මාසයක් යනතුරු ඉන්න බෑ ලෝකයේ තෙල් මිල සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට ඒත් තියෙන්නේ සූත්‍රයම තමයි. සූත්‍රය ගණන් ගන්න කාලසීමාව වෙනස් වෙලා තියෙනවා.” 

අද (24) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කරයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවට

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවට

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර ඇත.

මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda ඇතුළු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවද පැවසීය.

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙතෙක් ලබා දෙනු ලැබූ ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාව මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යමින් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම වත්මන් රජයේ අපේක්ෂාව බව පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී සඳහන් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා, මධ්‍යම කඳුකරයේ ජල පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාත්මක කළයුතු වැඩසටහන් සඳහා සහාය වීමට සූදානම් බවද පැවසීය.

ජනාධිපතිවරයාගේ විශේෂ කාමරය අද සිට රටේ ජනතාව⁣ට

ජනාධිපතිවරයාගේ විශේෂ කාමරය අද සිට රටේ ජනතාව⁣ට

මෙරට විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) දිනයේ සිට රටේ පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇත.

1984 වසරේදී ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකින් වන අතර එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය අතිරේකව එක් කර ඇත.

රෝහල ආරම්භ කළදා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගින්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.

ඒ අනුව අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතය.