Local news

ජීවිත අනතුරේ.. Whatsapp සහ Messenger භාවිතය පරිස්සමෙන්

ජීවිත අනතුරේ.. Whatsapp සහ Messenger භාවිතය පරිස්සමෙන්

WhatsApp සහ Messenger වැනි සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

පුද්ගලයින් රවටා සංවේදී දර්ශන ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහරින බව පවසා ඔවුන් එලෙස කප්පම් ලබාගන්නා බව එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කරයි.

එවැනි නාඳුනන පුද්ගලයින් යොමු කරන පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසත් එවැනි වංචාවකට හසුවී ඇත්නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතු බව ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කරයි.

එල්-නිනෝ හේතුවෙන් ලංකාවේ මුහුදු කලාපයට බලපෑම්

එල්-නිනෝ හේතුවෙන් ලංකාවේ මුහුදු කලාපයට බලපෑම්

එල්-නිනෝ තත්ත්වයෙන් “Sea of Sri Lanka” හෙවත් මෙරට මුහුදු තීරයට වන බලපෑම පිළිබඳ නාරා ආයතනය සමීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙරට මුහුදු කලාපයේ උෂ්ණත්වය ඉහළ යෑමත්, ඒ තුළින් ශාක ප්ලවාංග වලට සිදුවන බලපෑමත් ප්‍රධාන වශයෙන් පරීක්ෂා කෙරෙනු ඇත.

සමීක්ෂණය සඳහා චන්ද්‍රිකා දත්ත මෙන්ම මෙරට මුහුදු සීමාවේ සංවේදි කලාපවල ස්ථාපිත කෙරෙන උෂ්ණත්වය මැනීමේ උපකරණවලද සහය ලබා ගැනෙනු ඇති.

1998, 2016 හා 2023 වසරවලදී බලපෑ එල්-නිනෝ තත්ත්වයන්වලදි මෙරට මුහුදු කලාපයේ උෂ්ණත්වය ඉහළ ගිය බව නාරා ආයතනය සඳහන් කරයි.

එනිසා ශාක ප්ලවාංග තර්ජනයට ලක්වු අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙරට මුහුදු තීරයේ මාළු අස්වැන්න පහළ යෑමයි.

මේ අතර එල්-නිනෝ බලපෑමෙන් මෙවරද “Sea of Sri Lanka” මුහුදු තීරයේ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එලෙස උෂ්ණත්වය ඉහළ ගියහොත් ශාක ප්ලවාංග බලපෑමට ලක් වී ඒවා ආහාරයට ගන්නා කුඩා මත්ස්‍යයින් සාගර ජලයේ උණුසුම අඩු වෙනත් මුහුදු ප්‍රදේශ කරා යොමු වීමේ ප්‍රවාණතාවක් පවතියි.

එසේ වුවහොත් එම කුඩා මසුන් ආහාරයට ගන්නා විශාල මත්ස්‍යයින් ද මෙරට මුහුදු ප්‍රදේශ වල හිඟවනු ඇති බව නාරා ආයතනය සඳහන් කරයි.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 වඩා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. 

එනිසා මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මඩකලපුව, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි වනු ඇති බවද සඳහන් කරයි.

මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථා වලදීත් තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර ඒ අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරයි.

එනිසා මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ඉරාන උත්තරීතර නායක කමේනිට අසාධ්‍යයි

ඉරාන උත්තරීතර නායක කමේනිට අසාධ්‍යයි

ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උත්තරීතර නායක මොජ්තාබා කමේනි නියෝග ලබා දෙන්නේ, මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් බව වාර්තා වන අතර කමේනිගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉරාන රජය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

පසුගිය මාස කිහිපයකට පෙර අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙතෙක් ඉරාන උත්තරීතර නායකයා කිසිදු රජයේ රැස්වීමකට සහභාගී වී නොමැත.

මේ අතර ඉරාන උත්තරීතර නායකයා සමග කටයුතු කිරීම අපහසු බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


බන්ධනාගාර ගැටුම පිටිපස්සේ ඉදන් මෙහෙය වන්නේ නාමල්

බන්ධනාගාර ගැටුම පිටිපස්සේ ඉදන් මෙහෙය වන්නේ නාමල්

දැන් බන්ධනාගාර ඇතුලේ අර්බුදයක් තියෙන බවත් එය සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් බවත් 11,000ක් දාන්න පුලුවන් තැන 45,000ක් දැම්මම පීඩනයක් තියෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මෙවැනි සිදුවීමක් වූ පසු එහි වගකීම විපක්ෂය පිට පැටවීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් ආණ්ඩුව පසුගිය අයවැයෙන් බන්ධනාගාරවල අවම වශයෙන් වැසිකිළි පහසුකම්වත් වෙන් කිරීමට පියවර නොගත් බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“ආණ්ඩුවට උවමනාවක් තියනවා නම් මේක පිටිපස්සේ හැංගිච්ච කාරණයක් තියනවා නම් ඒක කරගන්න. බොරු කියන්න එපා. අධිකරණ පද්ධතියේ පීඩනය වැඩි කරන්න ගරු විනිශ්චයකාරවරු බඳවා ගන්න ඕන.

පුරප්පාඩු පුරවන්න ඕන. ඒවා කරන්නේ නෑ. උසාවි ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒවා කරන්නේ නෑ. රස පරීක්ෂණ වාර්තාව පැය 24න් දෙන්න ආණ්ඩුව ආයෝජනය කරන්න ඕන. ඒවා කරන්නේ නෑ.

හැබැයි වයස වැඩි කරාම බන්ධනාගාර පීඩනය අඩු වෙනවාලු. අධිකරණයේ පීඩනය අඩු වෙනවාලු. මෙන්න ආණ්ඩුවේ ක්‍රියාවලිය. දැන් බන්ධනාගාර ඇතුලේ අර්බුදයක් තියෙනවා. මේක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්.

11,000ක් දාන්න පුලුවන් තැන 45,000ක් දැම්මම පීඩනයක් තියෙනවා. අඩු ගාණේ පහුගිය අයවැයේ බන්ධනාගාරවල වැසිකිලි පහසුකම් හදපු නැති ආණ්ඩුව. අද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා බලයේ ඉන්න කාලේ මේ වගේ සිද්ධියක් සිදුවුනා.

ඇවිල්ලා කිව්වා ආණ්ඩුව වගකියන්න ඕනේ. එවකට තිබ්බ ආණ්ඩුව. කවුද කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා. හැම පුරවැසියෙක්ගෙම ජීවිතයට ආණ්ඩුව වග කියන්න ඕනේ කිව්වා.

දැන් එයාලා ආණ්ඩුවේ ඉන්නකොට මේ වගේ උනාම මොකක්ද කියන්නේ.? විපක්ෂය වගකියන්න ඕනේ. මේක ෂුවර් එකට නාමලයාගේ වැඩක්. මේකට විපක්ෂය වගකියන්න ඕනේ. නාමල් වගකියන්න ඕනේ කියලා ආණ්ඩුව කියනවා.”

“ආණ්ඩුවට එහෙම පේනවාද දන්නෑ මාව බැලුවාම පොඩි මෙහෙම පොරක් ඔහොම හිටියට. මෙයා තමයි මේක පිටිපස්සේ ඉදන් මෙහෙයවන්නේ මේ රටම.”

පොදුජන පෙරමුණ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ ජන හමුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

2029 ආණ්ඩුවේ පොලිස්පති සාජන් බණ්ඩා

2029 ආණ්ඩුවේ පොලිස්පති සාජන් බණ්ඩා

තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවට හිටපු සාජන් බණ්ඩා මේ වනවිට විශ්‍රාම අරන් සිටින බවත් ඊළග ආණ්ඩුවේදී ඔහු පොලිස්පති ධූරයට පත් කරන්න සුදුසු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,

“ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විදිහට විශ්‍රාම අරගෙන වසර පහකට පස්සේ ශානි අබේසේකර මහත්තයාට නියෝජ්‍ය පොලිස්පති ධුරයක් ලැබිලා තියෙනවා. අපි දන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරපු පත් කිරීමක් තමයි.

එහෙම කරන්න බෑ කියපු පත්වීමක් තමයි ලබාදීලා තියෙන්නේ. ඒක හොද පුර්වාදර්ශයක් මේ රටේ. ඉස්සරහට තව තව පොලීසියේ විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 80වේ, 90වේ අයත් ඇවිල්ලා තනතුරු වලට එයි.

මගේ පෞද්ගලික ආරක්ෂාවේ හිටිය සාජන් බණ්ඩා මේ වෙනකොට විශ්‍රාම අරන් ඉන්නේ. මම යෝජනා කරනවා ඊළග ආණ්ඩුවේදී ඔහු පොලිස්පති ධූරයට පත් කරගන්න සුදුසුයි.”

පොලිස්පති ඝාතනය – මම එහෙම ප්‍රකාශයක් කරේ නෑ.. සම්පුර්ණ වැරදියි

පොලිස්පති ඝාතනය – මම එහෙම ප්‍රකාශයක් කරේ නෑ.. සම්පුර්ණ වැරදියි

තමන් ප්‍රකාශ නොකරපු දෙයක් තමන් ප්‍රකාශ කළ බවට පෙන්නා සම්පුර්ණ වැරදි අර්ථකතන ලබාදීලා තියෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ කිසිම දවසක, කිසිම ආණ්ඩුවක් නොකරපු ආකාරයේ වැරදි වැඩ කරමින් යන බවද පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් සඳහන් කළේ,

“නොකියපු දෙයක් කිවුව හැටියට පෙන්නලා සම්පුර්ණ වැරදි අර්ථකතන ලබාදීලා දඩයම් කරන්න හදනවා. විරුද්ධවාදී දඩයමක්. අපි ඒකට බය වෙන්න ඕන නෑ. මෙහෙම දඩයම් කරන්න ගිය නායකයෝ ලෝකයේ ගොඩක් හිටියා.

හැබැයි ඒගොල්ලෝ හැමෝටම අත්වුණේ බොහොම දුක්ඛිත ඉරණමක්. මම හිතන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුර කුමාර දිසානායක මැතිතුමත් එවැනි ගණයේ නායකයෙක් වීමට උත්සාහ දරනවා.

මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දවසක, කිසිම ආණ්ඩුවක් නොකරපු ආකාරයේ වැරදි වැඩ කරමින් යනවා. ඉතින් මේක ජනතාව තේරුම් ගත්තදාට ජනතාවම පිළිතුරු දෙයි.”

⁣කෙසේ වෙතත් සාගර කාරියවසම් පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,

“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.“

බන්ධනාගාර එක සිදුවීමක් විතරයි.. තව ගොඩක් සිදුවීම් වෙනවා

බන්ධනාගාර එක සිදුවීමක් විතරයි.. තව ගොඩක් සිදුවීම් වෙනවා

දැනටමත් අපි ඉතාම සංවිධානාත්මකව සිදුකළ යුතු දේවල් සිදු කිරීමට සූදානම් බවත් රට අස්ථාවර වීම, බන්ධනාගාර සිදුවීම් කියන්නේ එක සිදුවීමක් විතරක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ,

“මේ රටේ ජනතාව රැවටෙන්න පුළුවන්, කියන්න පුළුවන් සියලුම බොරු ටික කිවුවා. දැන් එකින් එක ඉටු කරාවි කියලා ජනතාව බලාගෙන හිටියා අවුරුදු දෙකක්. මම හිතනවා ඊ⁣ට පස්සේ ජනතාව ඉවසීමේ සීමාව ඉක්මවා යයි.

අපි බලාගෙන ඉන්නවා මේ කියපු දේවල් කරනකම්. එහෙම නැති වුණොත් අපි ලෑස්තියි විපක්ෂය හැටියට, දැනටමත් අපි ඉතාම සංවිධානාත්මකව කලයුතු දේවල් කරන්න අපි ලෑස්තියි.”

“තමන්ට වැඩේ කරන්න බැරි වුණාම විරුද්ධ වෙන මිනිහා හිරේට දාලා කට වහන්න කියනවා. එහෙම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. රට අස්ථාවර වීම, බන්ධනාගාර කියන්නේ එක සිදුවීමක් විතරයි.

තව ගොඩක් සිදුවීම් තව ගොඩක් සිදු වෙනවා. අපිට වඩා රටේ ජනතාව මේ දිහා ඉතාමත් අවධානයෙන් බලා ඉන්නවා. ඉදිරියේදී උත්තර දෙයි.”

ජූලි මාසයේ විදෙස් සංචිත ඉහළ⁣ට

ජූලි මාසයේ විදෙස් සංචිත ඉහළ⁣ට

රටේ සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජුනි මාසයේදී විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වී තිබුණ අතර ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේදී එය 2.017%ක වැඩි වීමකි.

ඒ අනුව ඩොලර් මිලියන 133ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය ජූලි මාසයේදී මෙරට සමස්ත සංචිත ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

ශබ්ද දූෂණයට නව රෙගුලාසි.. වහාම අත්අඩංගුවට

ශබ්ද දූෂණයට නව රෙගුලාසි.. වහාම අත්අඩංගුවට

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන ඇත.

ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.