Local news

සහල් ඇතුළු ආහාර රැසක මිල අඩු කරයි

සහල් ඇතුළු ආහාර රැසක මිල අඩු කරයි

අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ඉහළ⁣ට

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ඉහළ⁣ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.

ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ වැටුප යම් ප්‍රමාණයකින් වැඩි වීමක් සිදුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නෑ. නමුත් ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපුවා. රජය ඒ තීරණය ගත්තේ ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයට පත්වීමත් එක්ක.”

“ඒ නිසා ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩි වීමක් ලැබිලා තියෙනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩිවෙලා ඇති.”

වැඩි මිලට සහල් වික්ක නිව් රත්න සමාගමට වැඩ වැරදුන හැටි

වැඩි මිලට සහල් වික්ක නිව් රත්න සමාගමට වැඩ වැරදුන හැටි

නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් මිලියනයක දඩයක් නියම කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

රජය මඟින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය කර ඇත.

2022 වසරේදී නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 220ක උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් රතු නාඩු සහල් කිලෝවක් මිල රුපියල් 225 බැගින් සටහන් කර වෙළෙඳපොළට සැපයීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා තිබුණේය.

අනතුරුව (06) වන දින මෙම නඩුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම වරදකරු බවට අධිකරණය තීන්දු කළේය.

චෙම්මනි සමූහ මිනීවළේ මිනිස් සිරුරු 500 පනී

චෙම්මනි සමූහ මිනීවළේ මිනිස් සිරුරු 500 පනී

යාපනය, චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන ඇත.

මෙරට තුළින් මිනිස් සිරුරු 500 ඉක්ම වූ අස්ථි කොටස් ගොඩගත් පළමු අවස්ථාව මෙය වන බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් සඳහන් කරයි.

චෙම්මනි සමූහ මිනීවළේ තුන්වන අදියරේ කැණීම් කටයුතු සඳහා අධිකරණය විසින් දින 56ක කාලයක් ලබාදී තිබුණද, අද වනවිට එම අදියරේ කැණීම් කටයුතු සිදුකර ඇත්තේ දින 46ක් බව සඳහන් වේ.

කැණීම් කටයුතු සිදුකළ 100 වැනි දිනයේදී නව මිනිස් ඇටසැකිලි අවශේෂ හඳුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත මිනිස් ඇටසැකිලි අවශේෂ සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගොස් ඇත.

චෙම්මනි සමූහ මිනිවළ හය වන අදියර 46 වන දිනට ඊයේ (07) දින යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින අතර ඉදිරියේදී තවත් මිනිස් ඇටසැකිලි අවශේෂ හමුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්.. දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්.. දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

2026 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේගේ ප්‍රධානත්වයෙන් අද (08) දින පෙරවරුවේ පැවැත්විණ.

උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු (05) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර එම විභාග මධ්‍යස්ථාන වලට දෙමාපියන්ට ඇතුළු වීමට අවසර හිමි නොවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටින බවද සඳහන් කරයි.

දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙසට උපදෙස් ලබාදී ඇත.

පළමුවෙන් දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන අතර එය පෙරවරු 9.30ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිත අතර අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.

විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

රාජ්‍ය අංශය සඳහා නව චක්‍ර ලේඛයක්

රාජ්‍ය අංශය සඳහා නව චක්‍ර ලේඛයක්

2025 අංක 25 දරණ පනතින් සංශෝධිත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සදහා සූදානම් වීම සම්බන්ධයෙන් මගපෙන්වීම් සැපයෙන පෞද්ගලික දත්ත ආරක්ෂණ චක්‍රෙල්ඛය නිකුත් කර ඇත.

එමගින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සදහා සූදානම් වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය සහ අනෙකුත් රාජ්‍ය අධිකාරීන් වෙත මගපෙන්වීම් සැපයෙන බව දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරයි.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සදහා සූදානම් වීමට ඉදිරි කාලය තුළ රාජ්‍ය අංශයේ ආයතන ගත යුතු පියවර පිළිබද ප්‍රායෝගික මගපෙන්වීම මෙම චක්‍රලේඛයෙන් සපයා ඇති බවත් අදාළ විධිවිධාන මගින්, පෞද්ගලික දත්ත රැස් කරන, භාවිත කරන ගබඩා කරන හෝ සකසන රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතු මූලික නෛතික මූලධර්ම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙමගින් අවධානය යොමුකර ඇත.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (08) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.55 දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.18 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.25 දක්වා ඉහළ ගොස් ඇත.

ඇමති හර්ෂණගේ විශේෂ ප්‍රකාශය

ඇමති හර්ෂණගේ විශේෂ ප්‍රකාශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ විශේෂ ප්‍රකාශය පහතින්.

“බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ ඥාතීන්ට ආදරණීයන්ට සහ මිත්‍රයන්ට යම් පණිවිඩයක් ලබාදීමේ අවශ්‍යතාවය තිබෙනවා. මුලිකවම දැනට වසරක් තිස්සේ බන්ධනාගාරවල තිබෙන තත්වයන් නිරීක්ෂණය කිරීමේදී රැඳවියන්ගේ මුලික චෝදනාවක් වුයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා ඇප ලබා ගැනීමට නොහැකිව ඇති බවයි.

මෙම තත්වය අපි පසුගිය වසරේ හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 118 ක් තිබුණා. ඒ නිසා කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා පැමිණියේ නැහැ. රස පරීක්ෂක වාර්තා පැමිණෙන තෙක් වසරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරන්න සිදු වුණා.

මේ වන විට රස පරීක්ෂක වාර්තා ලබාදීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය හැතතෑවක් පමණ බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මේ මාසය වන විට නව යන්ත්‍ර ගෙන එනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා.

මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මසකට වාර්තා හත් දහස් පන්සීයත් නවදහසක් අතර ප්‍රමාණයක් නිකුත් කරන්න ඉදිරියේදී පියවර ගන්නවා. මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් දහයකට වැඩි නිසා අභියාචනාධිකරණයට ඇප ලබා ගැනීමට යොමුවීමෙන් ඇප ලබා ගැනීමට ප්‍රමාද වන බව රැඳවියන්ගේ ඥාතීන් සඳහන් කළා.

මේ නීතිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා. 

මේ මොහොත වන විට යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් බන්ධනාගාරවල සිටින අය මෙහෙයවලා කලබල ඇතිකිරීම් තත්වයන් ඇති කරනවා. ඔබගේ ගැටළු විසඳනවා. ඉවසීමෙන් කටයුතු කරන්න.

පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා බන්ධනාගාරවල අධික තදබදයක් තිබෙනවා. අපි ඒ පහසුකම් ලබාදීමට මෙන්ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. කිහිප දෙනෙකුගේ කූඨ අරමුණු අනුව අපි සම්පත් ලබා දුන්නත් ඒවා ගිනි තියනවා නම් බාධා එන්නේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් වන ඔබටයි.

රජය විසින් දැන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බැවින් රජයට සහාය වෙන්න. බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරි තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා. සුළු දෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබව මෙහෙයවන එක නවත්වන්න.

ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබාදී නීති සංශෝධනය කරදී ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා.”

ශානි CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

ශානි CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 වසරේ අගෝස්තු (25) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ විශේෂ පොලිස් පණිවිඩය (07) නිකුත් කර ඇත.

ශානි අබේසේකර 2020 අගෝස්තු (25) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ලබා දුන් නියෝගය අනුව පොලිස්පතිවරයො විසින් ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරමින් පොලිස් පණිවිඩය නිකුත් කළේය.

ඒ අනුව අබේසේකර අද (08) සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වනු ඇත.

යුද හමුදා විරුවන් මහවැලි ගඟට වැටුණු කාන්තාවකගේ දිවි බේරාගනි

යුද හමුදා විරුවන් මහවැලි ගඟට වැටුණු කාන්තාවකගේ දිවි බේරාගනි

මහ පරිමාණ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ගේ සිට තනි පුද්ගල හදිසි ආපදා දක්වා ජනතාව අනතුරට පත්වන ඕනෑම මොහොතක, වහා ක්‍රියාත්මක වීම පිණිස ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටියි.

ඊයේ (06) දින මහනුවර, ගන්නේරුව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාසලේ රාජකාරියේ නිරතව සිටි S/629506 කෝප්‍රල් සන්දමාල් A.D.M. සහ S/629417 කෝප්‍රල් විජේවර්ධන D.M.T.I. යන සෙබළුන් දෙදෙනා වෙත, කාන්තාවක මහවැලි ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන බවට තොරතුරක් ලැබි ඇත.

ඒ අනුව, එම පාසලේ සේනාවිධායකගේ උපදෙස් මත කිසිදු පැකිලීමකින් තොරව වහා ක්‍රියාත්මක වූ මෙම සෙබළුන් දෙදෙනා, එම කාන්තාව මුදාගැනීමට කටයුතු කළේය.

තම ජීවිත පරදුවට තබමින් ක්‍රියා කළ මෙම සෙබළුන් දෙදෙනා, එම කාන්තාව සුරක්‍ෂිතව ගොඩබිමට ගැනීමට සමත් වූහ.

මොවුන් දැක්වූ මෙම ක්ෂණික ප්‍රතිචාරය සහ වීර්යය තුළින් ගම්‍ය වන්නේ, අපගේ ත්‍රිවිධ හමුදාවේ වගකීම මාතෘ භූමිය සුරැකීමට පමණක් සීමා නොවී, සෑම පුරවැසියෙකුගේම ජීවිත ආරක්ෂා කිරීම දක්වා විහිදෙන බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මධ්‍යම කඳුකර ප්‍රදේශවල ප්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යට වී පවති.

ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සහ මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් මේ වන විටත් යොදවා ඇති අතර, ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට ක්ෂණිකව මුහුණදීම සඳහා අතිරේක භට පිරිස්, උපකරණ සහ සම්පත් සූදානම් කර තබා ඇත.