Top Story

ආචාර්ය නන්දා මාලනියනි, ඔබේ හඬ මේ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක්

ආචාර්ය නන්දා මාලනියනි, ඔබේ හඬ මේ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි.

නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය.

ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය.

අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.

එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ අමරණීය ස්වරය දැයට අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ අමරණීය ස්වරය දැයට අහිමි වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ අතර ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

ශ්‍රී ලාංකීය රස වින්දනීය ගීත කලාවට ඉතා වටිනාම සේවයක් ඉටුකළ ඇය සිය හඩින් මෙන්ම නිර්භීත කලා භාවිතයෙන්ද දේශයම කම්පනයට පත් කළ කලාකාරිණියක් වේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

රනිල්ගේ සංචාරය ගැන බ්‍රිතාන්‍ය රජයෙන් තහවුරුවක්.. නඩුවට මොකද වෙන්නේ.?

රනිල්ගේ සංචාරය ගැන බ්‍රිතාන්‍ය රජයෙන් තහවුරුවක්.. නඩුවට මොකද වෙන්නේ.?

ජනාධිපති ධුරය දැරූ සමයේ රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් එක්සත් රාජධානියේ සිදුකළ බව කියන පුද්ගලික සංචාරයේ විමර්ශනයට අදාළව තීරණාත්මක කරුණු තවදුරටත් අනාවරණය වෙමින් ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරමින් සිටියදී පසුගිය 2023 වසරේ සැප්තැම්බර් (22) සහ (23) යන දින දෙකේ එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත සිදුකළ එකක් නොවන බව නැවතත් තහවුරු වී ඇත.

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන දෙපාර්තමේන්තුව එම වකවානුව තුළ එරට නිල සංචාර වල නිරත රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ඒ බව නැවතත් තහවුරු වී ඇත.

රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් නිරතවූ පෞද්ගලික සංචාරයක් ලෙස විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ සහ එවක ඔහුගේ ලේකම් සමන් ඒකනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේය.

ගවර්මන්ට්.යුකේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති දත්තවලට අනුව 2023 මෙම කාලසීමාවේ රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ සංචාරය කළ බවට කිසිඳු සඳහනක් දක්නට නොමැත.

සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මේ සම්බන්ධ සියලු තොරතුරු (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

පසුගිය අප්‍රේල් (29) වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීම තුළින් එම විමර්ශන වටිනාකම අඩුවී යන බැවින් කඩිනමින් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ලක්ෂ 166ක් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මේ වනවිට ඇප මත සිටියි.

පැමිණිල්ල යළි සැප්තැම්බර් මස (30) වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට නියමිතය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර අනතුරුව ඕනෑම පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සතියක දෙකක කාලයක් හිමි වේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාග කර දින 03ත් 21ත් අතර කාලය තුළ සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්පත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මහාධිකරණ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවෙනු ඇත.

ආරක්ෂක අංශයේ සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරයි

ආරක්ෂක අංශයේ සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරයි

දැනට යුධ, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (17) දින ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමග වේගයෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳවද සාකච්ඡා විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි 30 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස්ගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නැමැත්තාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා ඔහු සැලසුම් කරමින් සිටි බව ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත.

මම සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කොස් මල්ලී සමග පැවැත්වූ සංවාදවල හඬපට සොයාගත් බවත් නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට දින තුනකට පෙර, ඔහු ඇප මත මුදා හැර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු, නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් අස්මාන්ගේ ද සමීපතමයෙකි.

අධික උණුසුම හමුවේ රෝගින් වාර්තා වීම ඉහළට.. ජනතාවට අනතුරු අඟවයි

අධික උණුසුම හමුවේ රෝගින් වාර්තා වීම ඉහළට.. ජනතාවට අනතුරු අඟවයි

අද (14) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එනිසා වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එළිමහනේ අධික ලෙස වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වැඩබිම්වල සේවය කරන්නන් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා ළමුන්, වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පවතින උණුසුම් කාලගුණයත් සමග මානසික රෝගින්  වාර්තා වීම ඉහල ගොස් ඇතැයි ගාල්ල ජාතික රෝහලේ මානසික රෝග විශේෂඥ රූමී රූබන් සඳහන් කරයි.

විශාදය, කාන්සාව වැනි රෝගද උශ්ණත්වය ඉහල යාමත් සමග වාර්තා වන බවද මානසික රෝග විශේෂඥ රූමී රූබන් සඳහන් කරයි.

ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

රටේ ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව අවසන් අදියරේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

පාස්කු නඩුවේ චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවෝ 3,000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණ වල ඉන්න ඉහළම විනිසුරු තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ. ඔහුට තමයි ඊළග, ඔබතුමාලා කියන පරිදිම අභියාචනාධිකරණයට යාමට අවසථාව තියෙන්නේ.

මා හොයලා බලපුවාම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක්. එනිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා අභියාචනාධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා.

එතුමා පත් නොකර හිටියොත් එතුමා විශේෂ නඩුවක වාඩිවීම. එතුමාට අසාධාරණ ලක්වන කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළග ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට බලපෑම ඇති නොවෙන්නේ කියලා.

මම ඒකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවෙලා තියනවා. ඒ දෙක අතර සංසන්දනය කර බැලුවාම. එනිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක්, අභියාචනාධිකරණය හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට ගෙනයාම නොසුදුසු කියලා මම කල්පනා කරා.

එනිසා, කිසිදු, මම ඉතා අවංකව කියන්නේ, පුද්ගලයෙක් යන තෙක් බලාගෙන, පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවෙයි. පුරප්පාඩු තිබුණ සමාජයේ විශාල අවදානයට යොමුවුණු පාස්කු නඩුව පිළිබඳව අවසන්, මම දැක්කා අදත් වාර්තාවෙලා තිබුණා ඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියන වාර්තා පළවෙලා තිබුණා.

මම හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ තියන හොදම නිදර්ශකය කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකය ඒක කියලා මම හිතනවා. මට ඕන්නම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා.

චෝදනා 23,000ක්. සාක්ෂිකරුවෝ 3,000ක්. කවුද ඊළගට මේ නඩුව ඇවිල්ලා අහන්නේ. කවදාද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට. ඒක තමයි ඒක පිළිබඳ තිබුණේ. නමුත් ඒක විසින් යම් කෙනෙකුට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදුවෙන බව මා දන්නවා. ඒක සාපේක්ෂයි.”

නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

“මම මෙතන හැමදාම ඉන්න ආවේ නෑ.. ඕන වෙලාවක යන්න ලෑස්තියි” නීතීඥ සංගමයට සැරට අමතයි

“මම මෙතන හැමදාම ඉන්න ආවේ නෑ.. ඕන වෙලාවක යන්න ලෑස්තියි” නීතීඥ සංගමයට සැරට අමතයි

අවදානමක් නොගෙන වෙනසක් සිදුකළ නොහැකි බවත් රටේ ජනතාව වෙනුවෙන් තමන් එම අවදානම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එම අවදානම හමුවේ තනතුරු අහිමි වෙනවා නම්, එය ඉතාම හොදින් භාරගෙන පිටත්වෙලා යන්න තමා සූදානම් බවත් තමන් මේවා වල හැමදාම ඉන්න බලාගෙන ආපු මිනිහෙක් නොවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතනට පැමිණෙන්නේ. මම සැලකියයුතු ප්‍රමාණයකින් පැමිණෙන්න උත්සාහ කරේ විවෘත මනසකින්. කෙසේ වුවත් අපේ රටේ, සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න. විවෘතයි.”

දෙවනුව ඔබතුමාලා කියන්න පුළුවන් මේක නීතීඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න පුළුවන් බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුලුතරය. ඒක විවෘතයි.”

තුන්වනුව මගේ ප්‍රවේශය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල. මම කිසිසේත්ම මගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගි කරගන්නේ නෑ.

උපුල් මහත්මයා කියපු අවධානම. ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න වෙයි. “මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේව වල වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි”.

ඒ වගේම මම, මෙම වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නෑ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මම උදාහරණයක් කියන්නම්.

පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ බුද්ධි අංශ. මගේ ආරක්ෂාවට වග කියන්නෙත් ඔවුන්. දැන් පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ.

එනිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ අවදානම හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම්, එය ඉතාම හොදින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒකට මම සූදානම්.”

ඊයේ (12) දින පැවති නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

විනිසුරු විශ්‍රාම ගැන්වීම රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක්

විනිසුරු විශ්‍රාම ගැන්වීම රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධව වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.

එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින්, විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව මෙහිදී සඳහන් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කර සිටියහ.