Top Story

මරණ දඬුවම නියම වූ අනෝජන් වෙනුවෙන් ජනපති ගත් පියවර

මරණ දඬුවම නියම වූ අනෝජන් වෙනුවෙන් ජනපති ගත් පියවර

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අදාළ තරුණයා බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මෙම කරුණ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින්, ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය තවදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

බලශක්ති පෙරළියේ පළමු ගබඩා පද්ධතිය විවෘත කරයි

බලශක්ති පෙරළියේ පළමු ගබඩා පද්ධතිය විවෘත කරයි

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, මෙගාවොට් 10ක ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කළේය.

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කර ඇත.

බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ක්ෂේත්‍රයේ ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වන අතර දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩාකර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවට ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ  විශේෂත්වය වේ.

ජාතික විදුලිබල ජාලයේ ස්ථායීතාවය වර්ධනය කරමින්, බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කළ අතර ඉතිරි ව්‍යාපෘතිද ඉදිරි මාස දෙක, තුන තුළ නිම කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා බැටරි ගබඩා පද්ධතිය පිහිටි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක් විය.

ජාතියේ නිධානය දරුවන්.. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමයි

ජාතියේ නිධානය දරුවන්.. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමයි

දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බවද, මේ වසරේදී එය රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවද පැවසූ ජනාධිපතිවරයා ඒ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තව දුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී (17) සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

මෙම වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජ ගත වු වයස අවුරුදු දහඅටට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත සහ අධිඅවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනා ගත් දරුවන් සඳහා නිවාස ඉදිකිරීමට මිලියන දෙකක ආධාර මුදලක් පිරිනමනු ලබයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

දිවියට සවියක් වැඩසටහන අපේ රටේ වැදගත් ක්ෂේත්‍රයක ආරම්භයක්. දරුවන් කියන්නේ ජාතියේ නිධානය. අපේ රටේ දෙමාපිය රැකවරණය යටතේ හැදෙන දරුවන් ඉන්නවා. අම්මා තාත්තා යටතේ නැත්නම් ආච්චි සීයා යටතේ හැදෙන දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල හැදෙන දරුවෝ ඉන්නවා. මේ ආකාරයට විවිධ ස්ථානවල අපේ දරුවෝ ගොඩනැගෙනවා. කොතැන කොයි ආකාරයෙන් ජීවත් වුණත් ඒ අපේ දරුවෝ.

දෙමාපියන් සහ දරුවන් අතර බැඳීමක් තිබෙනවා. ඔවුන් උත්සාහ කරනවා තමන්ගේ දරුවන් ජීවිත යහපත් කරන්න. ආරක්ෂා කරන්න. ඒ වගේම සමාජය සහ දරුවන් අතර සම්බන්ධයකුත් තියෙනවා. සමාජය හැම විටම උත්සාහ කරනවා දරුවන්ට හොඳ රැකවරණයක් ලබාදීමට. රජය සහ දරුවන් අතරත් බැඳීමක් තිබෙනවා. රජය දරුවන්ට රැකවරණය සැලසීමට කටයුතු කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒක රජයේ වගකීමක්.

සංස්කෘතිකමය වශයෙන් ගත්තම මේ බැඳීම් ඉතාමත් යහපත් මට්ටමක තිබුණත් තවමත් අපි කිසිසේත් අපේක්‍ෂා නොකරන සිදුවීම්වලට දරුවන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ කියන්නේ අපි තවමත් සමත් වෙලා නෑ, දරුවන්ට සම්පූර්ණයෙන්ම රැකවරණය සලසන්න. ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් සහිත පරිසරයක් නිර්මාණය කරන්න අපි තවමත් සමත් වෙලා නැහැ.

සමාජයට, රාජ්‍යයට, දෙමාපියන්ට අපි කාටත් ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන්ගේ රැකවරණය සැලසීම පිළිබඳව. කිසිම දරුවෙක් අනාරක්ෂිතව හෝ සෙනෙහසකින් තොරව ගොඩනැගිය යුතුය කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ වගකීම සෑම දරුවෙකුටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සහිත පරිසරයක් ගොඩනැගීම. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

1956 වසරේ සිට ළමා ශ්‍රමය තහනම් වී තිබුණත් 1998 තමයි එහි කාර්යභාරය සම්පූර්ණ වුණේ. නමුත් ළමයින්ගේ ජීවිත අනාරක්ෂිත වුනේ ළමා ශ්‍රමය විකිණීමෙන් පමණක් නෙවෙයි. තවත් ක්ෂේත්‍ර ගණනාවක් තුළින් ඔවුන් පීඩාවට පත්වුණා.අනාරක්ෂිත වුණා. ඒ නිසා තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අපි ඔවුන්ගේ ආරක්ෂාවට තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.

අද මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉන් එක් පැත්තක්. එකක් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක හැදී සමාජගත වන තරුණ තරුණියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. අනාරක්ෂිත නිවාස වල ජීවත්වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. තමන්ගේ උපන් දිනය දන්නේ නැති, වාසගමක් දන්නේ නැති දරුවෝ අපිට මුණගැහිලා තියෙනවා.

හැම අම්මා තාත්තා කෙනකුටම තමන්ගේ දරුවන් පිළිබඳව සිහිනයක් තිබෙනවා. නමුත් මේ දරුවෝ ගැන සිහින දකින්නේ කවුද? ආර්ථික හැකියාව අනුව දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය, ඔවුන්ට අවශ්‍ය ගේ දොර ගොඩ නගනවා. මේ මධ්‍යස්ථානවල ඉන්න දරුවන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදන්නේ කවුද? අන්න ඒ වගකීම තමයි අපි මේ ඉටු කරන්න උත්සාහ කරන්නේ. ඒක අපේ වගකීමක්.

ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සමාජයට එකතු වන විට ඔවුන්ට යම් මුල්‍ය ඉතිරියක්, තමන්ටම වූ වත්කමක් හිමි කර දිය යුතුයි කියන අදහසින් අපි මේ නිවාසවල ඉන්න හැම දරුවෙකුටම බැංකු ගිණුමක් ආරම්භ කර හැම මාසයකම එක් ගිණුමකට රුපියල් 5000ක මුදලක් තැන්පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා.

සමහර දරුවන්ගේ ගිණුම් විවෘත කිරීමේදිත් යම් යම් ගැටලු මතු වෙලා තිබුණා. නමුත් අපි ඒක කරනවා. ඒ වගේම අපි අවුරුදු 18 සම්පූර්ණ වෙලා සමාජ ගත වූ දරුවන්ට තමන්ගේ අනාගතය සුරක්ෂිතව ගත කළ හැකි පරිදි නිවසක් ලබාදෙන්න තීරණය කළා. ඒ වගේම අනාරක්ෂිත නිවාසවල ජීවත්වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් අපේ වගකීමක්. සමහර නිවාසවල පවතින ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසාම සමහර දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙලා.

ඒ අනුව අපි ගිය වසරේ ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වුණ සුරක්ෂිත නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් ලබාදුන්නා. ඒක ප්‍රමාණවත් නෑ කියපු නිසා මේ වසරේ ලක්ෂ විස්සක් නැත්නම් මිලියන දෙකක් වෙන් කළා. ඒකත් මදි නම් කියන්න අපි ලෑස්තියි තව ප්‍රතිපාදන වෙන් කරන්න. මොකද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම අපේ වගකීමක්. අපි වැඩ කරන්නේ ඒ වගකීම භාරගත් ආණ්ඩුවක් හැටියටයි.

ඒ වගේම ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සමාජයටත් ලොකු වගකීමක් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. කුමක් හෝ හේතුවකට දරුවන් සහ දෙමාපියන් අතර තිබුණ යහපත් සබඳතාවය බිඳ වැටෙමින් තිබෙනවා. සමාජය හා දරුවන් අතර සබඳතාවයත් දුර්වල වෙමින් තිබෙනවා. දරුවා දරුවෙක් ලෙස තේරුම් ගනිමින් ඔවුන්ගේ රැකවරණය සැලසිය යුතුයි.

එය අපේ වගකීමක්. ඒ සම්බන්ධයෙන් රජයට වගකීමක් තිබෙනවා. නමුත් රජයට විතරක් මේක කරන්න බැහැ. දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වෙන්න නම් සමාජය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුයි. නමුත් සමාජය හා දරුවන් අතර සබඳතාවය බිඳ වැටෙමින් තිබෙනවා.

ඒ සමාජය අපි ඉහළ තලයකට ඔසවා තැබිය යුතුයි. අපේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම ජාතික වශයෙන් අපි භාරගත යුතුයි. එක දරුවෙකුට හෝ හානියක් සිදු නොවිය යුතුයි. අපි රජයක් ලෙස ඒ වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කරනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. සමාජයක් ලෙස ඒ වගකීම ඉටු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන්ද ඉල්ලා සිටිනවා.”

ජනපති අනුරගේ රැස්වීම් වල කැපී පෙනුණු විශේෂ ප්‍රකාශ 13ක්

ජනපති අනුරගේ රැස්වීම් වල කැපී පෙනුණු විශේෂ ප්‍රකාශ 13ක්

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ජන රැළි කිහිපයක් පැවැත්වූ අතර එහිදී සිදුකළ ප්‍රකාශවල සඳහන් වූ විශේෂ කරුණු කිහිපයකි.

1.පාතලයට කිසිදු සමාවක් නෑ. පාතාලය සහ කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කරනවා.

2.මේ අවුරුදු දෙකේ වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය ඉවරයි. දැන් අල්ලන්න තියෙන්නේ.

3.පොහොර සහනාධාරය එළඹෙන 2027 අයවැයේදීත් ඊළග කන්න සහ දිගටම රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම.

4.පරිවාස භාරයේ සිටින සෑම දරුවෙක්ට 2027 ජනවාරි මාසයේ ඉදන් සෑම මාසෙකට රුපියල් 5,000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා.

5.රටේ මහජනයාගේ ධනයෙන් සතයකට හරි අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව ඔප්පු කර පෙන්වනවා.

6.දූෂිතයින්ට දඬුවම් ලබාදීමේදී කවුරු ඇඬුවත් ඒක අපිට පේන්නේ නෑ. අපි ඇස් බැඳගෙන ඉන්නේ.

7.රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

8.දිවයින පුරා වැව් අමුණු, ඇල වේලි හදන්න රුපියල් මිලියන 35,000ක් වෙන් කරනවා.

9.දරුවන් ගණන 50ට වඩා අඩු පාසල් ලොකු පාසල් සමග බද්ධ කරනවා.

10.පාසල් පොත්වල වැට් බද්ද ඉවත් කරන්න කටයුතු කරනවා.

11.අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෙවෙයි. මේ ආණ්ඩුවට කිසිම තර්ජනයක් නෑ.

12.වසර කිහිපයක් ඇතුළත ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා.

13.මැදපෙරදිග යුද්ධය නිසා, අපි පාවිච්චි කරන තාර වර්ගය මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක්. එනිසා සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ ප්‍රමාදයක්.

නැගෙනහිර ජනතාව වෙනුවෙන් අති නවීන හෘද රෝග ඒකක ගොඩනැගිල්ල අරඹයි

නැගෙනහිර ජනතාව වෙනුවෙන් අති නවීන හෘද රෝග ඒකක ගොඩනැගිල්ල අරඹයි

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබාදීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) දින සිදු විය.

හෘද වාහිනී රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින් ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2,403ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 08කින් සමන්විත අතර 2028 මැයි මාසය පමණ වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය

මෙහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.

2027 අයවැය – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

2027 අයවැය – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

එළඹෙන 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පසුගිය ජුනි (30) වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණේය.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය මේ වනවිට ලැබී ඇති අතර එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබාදී ඇත.

ශානිගේ සහ රවීගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දුවක්

ශානිගේ සහ රවීගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රෙෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා යන පුද්ගලයින් දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය.

විනිසුරු මඩුල්ල නියෝග කළේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් දේශපාලන උවමනාව මත පාස්කු ප්‍රහාරයට සම්බන්ධව පෙත්සම්කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර තිබෙන පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර කිසිවක් ගැනීමක් සිදු නොකරන ලෙසයි.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් සහ අදාල විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පසුගිය ජනාධිපතිවරණය සමයේ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

කවුරු ඇඬුවත් අපිට පේන්නේ නෑ.. අපි ඇස් බැඳගෙන ඉන්නේ

කවුරු ඇඬුවත් අපිට පේන්නේ නෑ.. අපි ඇස් බැඳගෙන ඉන්නේ

කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැති බවත් කවුරු ඇඬුවත් ඒක අපට පේන්නේ නැති බවත් අපි ඇස් බැඳගෙන සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා කවුරු කුමන තරාතිරම්වල සිටියත් බලය පාවිව්වි කරමින් සිදුකළ අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක වෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“නීත්‍යානුකූලව විර්මශන කරලා, අධිකරණයට ගිහින් නඩුවක් විභාග කරලා දඬුවම් දෙන එක ආණ්ඩුවේ කාර්‌යභාරයයි. අපි ඒ පරිසරය සම්පූර්‌ණයෙන්ම සකස් කරලා දීලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ පරීක්ෂණ කරන නිලධාරීන් සහ අධිකරණය හමුවේ.

නීතිය විධිමත්ව සිද්ධ වෙනවා. අපි ඒ වෙනුවෙන් ඇස් බැඳගෙන ඉන්නේ. කවුරු ඇඬුවත්, කොහොම ඇඬුවත් අපිට ඒක පෙනෙන්නේ නැහැ. පුතා ගිහින් තාත්තා ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. නැන්දම්මා අසනීපෙන් කියලා ලේලි ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ.

අනුරාධපුරේ ඉන්න නෝනා ඇතුළේ, මහත්තයා එළියේ ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. මොකද, අපි ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න බලතල දීලා තියෙන්නේ. කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැහැ. බලය පාවිච්චි කරලා කරපු අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක වෙනවා.”

කිඹුල් කඳුළු හෙලන අයට කිසිම සමාවක් නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

කිඹුල් කඳුළු හෙලන අයට කිසිම සමාවක් නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුව හැදුවේ රටේ ජනතාව වෙනුවෙන් බවත් මේ රටේ ජනතාව බලාගන්න ආණ්ඩුව, ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පොළොන්නරුවේ පැවති ගොවි රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුව හැදුවේ කවුරු වෙනුවෙන් ද.? මේ රටේ පොදු ජනයා වෙනුවෙන් හදපු ආණ්ඩුවක් මේක. මේ රටේ ජනතාව බලාගන්න ආණ්ඩුව තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව. ජනතාව බලාගන්න ආණ්ඩුව.

මීට කලින් ආණ්ඩු හැදුවා කවුද.? පාතාලය බලාගන්නා ආණ්ඩුව, කුඩු කාරයෝ බලාගන්න ආණ්ඩුව, ජාවාරම්කාරයෝ බලාගන්නා ආණ්ඩුව, දූෂිතයෝ බලාගන්නා ආණ්ඩුව. මතක තියාගන්න මේ ආණ්ඩුව ජනතාව බලාගන්නා ආණ්ඩුව.

අරගොල්ලන්ට දඩුවම් දෙන ආණ්ඩුව. මතක තියාගන්න. එහෙමයි මේ ආණ්ඩුව. කිසිදු සාකච්ඡාවකට සහ සමාවකට නැති කරුණු කිහිපයක් තියෙනවා. සාකච්ඡා නෑ. සමාව නෑ. එක, පාතලය. කිසිදු සමාවක් නෑ.

අපේ රටේ සන්නද්ද අපරාධ කල්ලි මුළුමනින්ම ඉවත් කරනවා. ඒක ව්‍යසනයක් අපේ රටේ. දැනටමත් 70කට වඩා වැඩි පිරිසක් පිටරටින් ලංකාවට ගෙනාවා. ඊළග ඒ පාතාල කල්ලි හා ගැටගැසුනු කඩු ව්‍යාපාරය. ඉවත් කරන්න ඕන. ඒ වැඩේ අපි කරනවා.

කුඩු පොඩ්ඩක් කමක් නෑ.? එහෙම නෑ. මුළුමනින්ම නෑ. කාලයක් යයි. පාතාලය, ඒහා බැදුණු කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කිරීමේ වගකීම ජාතික ජන බලවේග ආණ්ඩුව භාරගන්නවා. දෙක අපරාධ. අපේ රටේ පාස්කු අපරාධයක්.

පරීක්ෂණ කරන්න ඕන. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕන. අපිට පොඩ්ඩක් තියෙනවා කල් ගියපුවාම පවු කියලා හිතෙනවා. මේකේ පවු කියලා හිතෙන්නේ නෑ. පවු කියලා හිතෙන කරුණු තියෙනවා. කරුණාව දැක්විය යුතු කරුණු තියෙනවා.

හැබැයි මේවා කරුණාවට, මෛත්‍රීයට, පවු වලට යටපත් කරන්න ඕන ඒවා නෙමෙයි. අපරාධකරුවන් කිහිපයක් ඉන්නවා. තමන්ට විරුද්ධව පත්තරේ ලිවුවා කියලා පාරේ වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. තමන්ට විරුද්ධව ටීවි එකේ කිවුවා කියලා ටීවි එකට බෝම්බ ගහලා තියෙනවා.

තමන්ට විරුද්ධව පත්තරේ ලිවුවා කියලා පාරේ අතපය කඩලා තියෙනවා. ඡන්ද ගන්න බෝම්බ පුපුරවලා තියෙනවා. ඒවට අනුකම්පාව නෑ. ඒවට මෛත්‍රීය නෑ. ඒවට කරුණාව නෑ. ඒවට නිසි දඩුවම ලබාදෙන එක තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව. ඒක අපි කරනවා.”

“සමහර අය අපෙන් ඇහුවා කල් යනකොට සහෝදරයා කල් යනවා වැඩී නිකන් අහුවෙන්නැද්දෝ කියලා. අපි කිවුවා කලබල වෙන්න එපා. මේකේ වැඩේ මොකක්ද. හොදට පරීක්ෂණ කරන්න ඕන. උසාවියට ගිහිල්ලා ඔප්පු කරන්න ඕන. ඔප්පු කරලා හිරේ දාන්න ඕන.

පරීක්ෂණ වලට ලොකු කාලයක් ඇදෙනවා. හරියට ඔප්පු කරන්න ඕන අධිකරණයට. අපි පරීක්ෂණ කරලා තියෙනවා. ඇත්තටම මේ අවුරුදු දෙකක්ම, ඒකෙන් වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය, පීරියඩ් එක ඉවරයි. දැන් මොකක්ද. අල්ලන පීරියඩ් එක.”

අද තමයි දවස.. බොහෝ දෙනෙක් දෑස් දල්වාගෙන බලාසිටියි

අද තමයි දවස.. බොහෝ දෙනෙක් දෑස් දල්වාගෙන බලාසිටියි

“ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” යන තේමාවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන දැවැන්ත මහජන රැලිය අද (12) දින පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරු දීප උයන පරිශ්‍රයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.

මේ අතර වර්තමාන ආණ්ඩුවට එරෙහිව සිදු කරන දැවැන්තම ජන රැළිය අද (12) දින අනුරාධපුරයේදි පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සවස 2.00ට අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගනයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.

මෙම රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම රැළිය සඳහා සම්බන්ධ වීමට නියමිතය.