ශ්‍රී ලංකාවේ කාලගුණ අනාවැකි පල කිරීමේ සහ පුර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතියේ (Doppler Weather Radar Network Project) වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා පුත්තලම පිහිටි අදාළ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ව්‍යාපෘති පරිශ්‍රය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ස්ථානීය පරීක්ෂාව ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපෘතියේ සමස්ථ විෂය පථය මෙන්ම එහි පවතින උපායමාර්ගික වැදගත්කම පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා වෙත කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී, දැනට සිදු වෙමින් පවතින ඉදිකිරීම් කටයුතු, එතුමන්ගේ පසුගිය නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාත්මක කිරීමේ කාලසටහන පිළිබඳව ව්‍යාපෘති ඉංජිනේරුවන් විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත පුළුල් විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
නියමිත සැලසුම් කාලරාමුවට අනුව, රේඩාර් පද්ධතිය සවි කිරීමේ කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, සමස්ථ ව්‍යාපෘතියේ කටයුතු ලබන වසරේ ජුලි මස අග වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂිතය.
දිවයිනේ ආපදා පුර්ව සූදානම තවදුරටත් ඉහළ නැංවීම, කාලගුණ අනාවැකිවල සූක්ෂ්ම නිවැරදිභාවය වර්ධනය කිරීම සහ තීරණාත්මක කාලගුණික තත්ත්වයන් හමුවේ රටේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම උදෙසා නියමිත කාල රාමුවට අනුගතව මෙම ව්‍යාපෘතිය නිම කිරීමේ ඇති වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

