Advertisements

එක්නැළිගොඩ නඩුවේ සැකකරුවන් හඳුනාගනී.. මුරලිට විශේෂ ආරක්ෂාවක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිදුවීමට අදාළ නඩුව හෝමාගම මහාධිකරණයේ (28) දින විභාගයට ගත්තේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් නඩු දෙකක් මහාධිකරණ වල විභාග වන අතර 2009 අගෝස්තු මස (27) එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතහැරීම සම්බන්ධව එක් නඩුවක් විභාග වේ.

එයට අදාළ නඩුවක් ඊයේ (28) දින විභාගයට ගත් අතර 2010 ජනවාරි මස (24) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අනෙක් නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වේ.

මෙම නඩුවේ චුදිතයන් වන්නේ, එවකට යුද හමුදා කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, එවකට ලුතිනල් කර්නල් ප්‍රබෝද සිරිවර්ධන, R.M.P.K රාජපක්ෂ හෙවත් නාදන්, විනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්⁣, S.M රවින්ද්‍ර රූපසේන හෙවත් රංජිත්, S.K උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නම් යුද හමුදා නිලධාරීන්ය.

මෙම නඩුවේ වැදගත් සාක්ෂිකරුවෙක් වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් “මුරලි” නැමැත්තා ඊයේ (28) දින විවෘත අධිකරණයේදී සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවමින් හෝමාගම මහාධිකරණ පරිශ්‍රයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණේය.

තමන් මීට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ එක්ව කටයුතු කළ බවත් යුද්ධයෙන් පසුව හමුදාවට භාර වී හමුදාව සමඟ එක්ව කටයුතු කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ එහිදී අනාවරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛකලනාදන් සහ ඩොක්ටර් ජයලත් ජයවර්ධන මන්නාරම මඩු දේවාලයේ මංගල්‍යයකට පැමිණි අවස්ථාවක තමන් ඔවුන් සමඟ සම්බන්ධ වූ බවත් ඒ අවස්ථාවේදී සෙල්වම් අඩෛකලනාදන් විසින් ප්‍රගීත් එක්නැලිගොඩව තමන්ට හඳුන්වා දුන් බවද ඔහු සඳහන් කරයි.

තමන් හමුදාවට භාරවන අවස්ථාවේ ප්‍රගීත් එක්නැලිගොඩගේ දුරකථන අංකයක් තම සාක්කුවේ තිබූ බව පැවසූ සාක්ෂිකරු, එම අංකය කාගේදැයි නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමකදී එය එක්නැලිගොඩගේ අංකය බවට ඔවුන්ට අනාවරණය වූ බවද අධිකරණය හමුවේ කියා සිටියේය.

තමන් හමුදාවට භාරවීමෙන් පසුව ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක කාලයක් සිටි අතර ඉන්පසු ගිරිතලේ කඳවුරට තමන්ව රැගෙන ඇවිත් මාංචු දමා රඳවා තැබූ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසු අතර ඒ අතරතුර දුරකථනයේ ශබ්ද විකාශකය ක්‍රියාත්මක කරමින් තමන් ලවා විවිධ පුද්ගලයින්ට කතා කළ බවද ඔහු සඳහන් කළේය.

සාක්ෂි ලබාදෙන අතරතුර චම්මිකුමාර රත්නම්, ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුම සාක්ෂිකරු විසින් අධිකරණයේදී හඳුනාගනු ලැබු අතර ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන යාමෙන් පසුව කාමරයක තියාගෙන සිටි බවත් මුල් කාලයේ කකුලට මාංචු දමා තිබුද ඔහු සඳහන් කළේය.

එමෙන්ම 2010 වර්ෂයේ ජනවාරි මාසයේදී තමන් ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ කතා කළ බවට සාක්ෂිකරු සාක්ෂි ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදී, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට දැඩි විරෝධතාවය පළ කළේය.

2010 සිදුවීමට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වෙනත් නඩුකරයක් පවතින පසුබිමක එම සිදුවීමට අදාළව හෝමාගම මහාධිකරණය හමුවේ තිබෙන වෙනත් නඩුවකදී සාක්ෂි ලබාදෙන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කළා.

හෝමාගම මහාධිකරණයේ විභාග වන්නේ 2009 ඔක්තෝබර් (27) වැනිදා සිදුවූ පැහැරගැනීමට අදාළ සිදුවීම බැවින් එම සිදුවීම් මාලාවට පමණක් සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීමට විරෝධයක් නැති බවත් සාක්ෂි ආඥා පනතේ 5 වැනි වගන්තියට ප්‍රකාරව විවාදාත්මක කරුණුවලින් පිටතට ගොස් සාක්ෂි ලබාදීමට විරෝධය පළ කරන බවද නීතිඥවරු සඳහන් කළේය.

මෙහිදී රජය වෙනුවෙන් රජයේ නීතිඥ වොක්ස්වෙල් පෙරේරා සාක්ෂි මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රසික බාලසූරිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

ඉදිරිපත් වූ විරෝධතාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග කළ හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුර සාක්ෂි විභාගය සහ නියෝගය ප්‍රකාශ කිරීම ලබන සැප්තැම්බර් (30) වැනිදා දක්වා කල් තැබුවේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest