“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුකූලව, දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම අඩු පිරිවැය සහිත පුනර්ජනනීය බලශක්තිය හරහා සම්පාදනය කිරීමට රජය පියවර ගෙන ඇත.
දහවල් කාලයේ ලැබෙන අතිරික්ත සූර්ය බලශක්තිය නවීන Battery Energy Storage System (BESS) බැටරි පද්ධතිවල ගබඩා කර, රාත්‍රී කාලයේ (Night Peak Time) ජාතික පද්ධතියට මුදාහැරීම මඟින් ජනතාවට ලබාදෙන විදුලි ඒකකයක මිල අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව පාරිභෝගිකයින් වෙත ලබාදෙන විදුලි ඒකක මිල අවම කිරීමේ අරමුණින් සියලු බලශක්ති මිලදී ගැනීම් විනිවිදභාවය ඉහලින් පවත්වාගෙන තරඟකාරී ප්‍රසම්පාදනයන් හරහා සිදු කිරීමට තීරණය කර ඇත.
මෙම (BESS) වැඩපිළිවෙළෙහි ප්‍රධාන පියවර 5කි.
- 160 MW / 720 MWh BESS:
දිවයින පුරා ග්‍රිඩ් උපපොළවල් 16 ක ස්ථාපිත කර මෙම සැප්තැම්බර් සිට ජාතික පද්ධතියට එක් කෙරේ.
- 250 MW / 1,000 MWh BESS:
ග්‍රිඩ් උපපොළවල් 19 ක් ආවරණය වන පරිදි සකස් කළ ජාත්‍යන්තර ලංසු කැඳවීම් මේ වන විට ආරම්භ කර ඇත.
- 150 MW / 600 MWh (භූමියේ ඉදිකළ සූර්ය බලාගාර සඳහා):
දැනට පවත්නා භූමි සූර්ය බලාගාර සඳහා ද BESS සපයා ගැනීමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
- වහල මත සූර්ය බලාගාර (>100 kW):
සැප්තැම්බර් මාසයේ සිට රාත්‍රී කාලයේ බලශක්තිය සැපයීම සඳහා BESS සපයා ගැනීමට තරඟකාරී ප්‍රසම්පාදනය ආරම්භ වේ.
- ගෘහස්ථ සූර්ය විදුලියෙන් අමතර ආදායමක්: BESS පද්ධති සඳහා මාර්ගගත ද්වාරයක් (Online Portal):
වහල මත සූර්ය පැනල සවිකර ඇති ගෘහස්ථ පාරිභෝගිකයින්ට, දහවල් කාලයේදී නිපදවෙන අතිරික්ත බලශක්තිය තම BESS (Battery Energy Storage System) පද්ධතිවල ගබඩා කරගෙන, රාත්‍රී අධික ඉල්ලුම පවතින වේලාවන්හිදී (Night Peak Time) මාර්ගගත ද්වාරයක් (Online Portal) හරහා තරඟකාරී මිල ගණන් යටතේ ජාතික පද්ධතියට මුදාහැරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ස්ථාපනය කරමින් පවතී.
අධික පිරිවැය සහිත හදිසි විදුලි මිලදී ගැනීම්වලට තිත තබමින්, විනිවිදභාවයෙන් යුතු තරඟකාරී ප්‍රසම්පාදනයන් හරහා ජනතාව වෙත සෘජු ප්‍රතිලාභ ලබාදෙයි.
