වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර පළාතේත්, මොනරාගල සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එනිසා ජනතාව පහත උපදෙස් පිළිපදින ලෙසට දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එළිමහනේ ගැවසෙන්නේ නම් සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම / විටින් විට විවේක ගැනීම / හැකිතාක් ජලය පානය කිරීම / රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.
දැනට පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය නිමා වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පමණ බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.
අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ,
“මේ වසරේ අපට තවම එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් දැකගන්නට නැහැ. අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය අපට නිරීක්ෂණය කළ හැකියි. කෙසේ වෙතත්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වඩා වැඩි සම්භාවිතාවක් තිබෙනවා. එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇති.”
