දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් දෙදෙනා පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම නඩුවට අදාලව මාර්ගගත ක්‍රමයට සාක්ෂි දීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණියේය.
ඒ අනුව ලලිත් – කුගන් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිට ඔන්ලයින් ක්‍රමයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබාදුන්නේය.
සාක්ෂි ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසු ප්‍රශ්න කිහිපයකටම සඳහන් කළේ, විශාල කාලයක් ගොස් තිබෙන නිසා අදාළ සිද්ධීන් පිළිබඳව තමාට මතක නැති බවයි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කර සිටියේ,
ඔබ පිළිගන්නවාද රටක සිවිල් ජනතාව අතුරුදහන් වෙනවා වෙනවා නම් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව.?
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,
පුද්ගලයින් විවිධ හේතු මත අතුරුදහන් වෙනවා. එතකොට ඒ සම්බන්ධව පොලීසිය විශේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. සෑම අතුරුදහන් වීමක්ම ආරක්ෂක කවුන්සිලයට වෙත ඉදිරිපත් වන්නේ නෑ. තොරතුරු ලැබෙන අවස්ථාත් තියෙනවා. විශේෂ අවස්ථාවක් නම් තොරතුරු ලැබිලා තියෙනවා.
නීතීඥ නුවන් බෝපගේ – මාධ්‍යවේදි කීත් නොයාර් ඔබට මතකද.?
ගෝඨාභය රාජපක්ෂ – මතකයි. මට ඒ සිද්ධිය යම්තාක් දුරකට මතකයි. විස්තර මතක නෑ.
නීතීඥ නුවන් බෝපගේ – යම්තාක් දුරකට මතකයි කිව්වේ කුමක්ද.?
ගෝඨාභය රාජපක්ෂ – සිද්ධියක් වුණා කියලා මතකයි. මම ඒකට අද සූදානම් වෙලා ආවේ නෑ. ඒකයි මම යම්තාක් දුරකට මතකයි කිවේ.
නීතීඥ නුවන් බෝපගේ – කීත් නොයාර් අතුරුදන් වු බව ඔබට මතකද.?
ගෝඨාභය රාජපක්ෂ – ස්වාමීනි.. මම දන්නා තරමින් කීත් නොයාර් අතුරුදන් වෙලා නෑ.
නීතීඥ නුවන් බෝපගේ – ඔහුව යම් පිරිසක් පැහැරගෙන ගොස් වදහිංසාවට ලක්කළ බව ඔබ දන්නවාද.?
ගෝඨාභය රාජපක්ෂ – ඔහුව පැහැර ගැනීමට ලක් වූ බව දන්නේ නෑ. නමුත් අතුරුදහන් වෙලා හමුවුණා කියලා දන්නවා.
නීතීඥ නුවන් බෝපගේ – ඔහු අතුරුදන් කියලා ඔබට දුරකථන ඇමතුමක් ආවා මතකද.?
ගෝඨාභය රාජපක්ෂ – අවුරුදු 15කට කලින් වෙච්ච දෙයක්. දැන් මට මතක නෑ. කවුද දුරකථනයෙන් කතා කලේ කියල.
නීතීඥ නුවන් බෝපගේ – ඔබ එවකට හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට ඒ පිළිබදව දැනුම් දුන්නා ඔබට මතකද.?
ගෝඨාභය රාජපක්ෂ – මම එහෙම සිද්ධියක් දැන ගත්තා නම් මම ඒ පිළිබදව පොලිස්පතිවරයාට දැනුම් දීලා ඇති.
නීතීඥ නුවන් බෝපගේ – ඔබ ආරක්ෂක ලේකම්. මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණට ඒ පිළිබඳව දැනුම් දුන්නා කියා මතකද.?
ගෝඨාභය රාජපක්ෂ – මේ ගොඩක් කාලයකට පෙර වූ දෙයක්. මට ඒ නිසා ඒ පිළිබඳව මතක නෑ දැන්.
නීතීඥ නුවන් බෝපගේ – කීත් නොයාර්ට බරපතල තුවාල සිදුකර පසුව ඔහුව යම් ස්ථානයකට අතහැර දමා තිබූ බව ඔබ දන්නවාද.?
ගෝඨාභය රාජපක්ෂ – මට මතක නෑ ස්වාමීනි.
නීතීඥ නුවන් බෝපගේ – මම යෝජනා කරනවා ඔබට කීත් නොයාර් පැහැරගෙන ගොස් ඝාතනය නොකර මුදා හැරියේ ඔබේ විධානය මත කියලා.
ගෝඨාභය රාජපක්ෂ – මම එය ප්‍රතික්ෂේප කරනවා ස්විමීනී. මම මුලින්ම කිව්වා එහෙම සිද්ධියක් වුණා. ඒක මොන විදිහකට වුණාද කවුරු කලාද මම දන්නේ නෑ. අනික අවුරුදු 15කට පස්සේ ඇහුවාම මට මතක නෑ.
නීතීඥ නුවන් බෝපගේ – මම යෝජනා කරනවා ඔබට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2017 ජනවාරි මාසයේ වාර්තාවක ඔබ ඒ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තා කර තිබෙනවා කියලා.
ගෝඨාභය රාජපක්ෂ – ඒ සම්බන්ධව මට මතක නෑ.
නීතීඥ නුවන් බෝපගේ – ඔබට මතකද අදාළ සිද්ධිය සම්බන්ධව යුධ හමුදා ත‍්‍රිපොලි අණු කාණ්ඩයේ නිළධාරීන් පස් දෙනෙක් සැකකරුවන් ලෙස නම් කලා කියලා.
ගෝඨාභය රාජපක්ෂ – නෑ ස්වාමීනි. මම දන්නේ නෑ.
නීතීඥ නුවන් බෝපගේ – මම ඔබට යෝජනා කරනවා. ඔබ එවකට ආරක්ෂක ලේකම් විදිහට පැහැර ගැනීම් සහ අතුරුදහන් වීම සම්බන්ධව සෘජුව මැදිහත් වෙලා උපදෙස් දුන්නා කියලා.
ගෝඨාභය රාජපක්ෂ – මම එය ප්‍රතික්ෂේප කරනවා. මම භූමියේ කිසිම ක්‍රියාන්විතයකට සම්බන්ධ වී නෑ. මට ආරක්ෂක ලේකම්වරයා ලෙස තිබූ රාජකාරිය වන්නේ රජයෙන් ගන්නා ප්‍රත්පත්ති ඒ ආයතන වෙත සම්ප්‍රේෂණය කිරීම. මම සෘජුව භූමියේ ක්‍රියාන්විතයන්ට සම්බන්ධ වෙලා නෑ.
අනතුරුව සාක්ෂි සටහන් කරගැනීම අවසන් කළ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස (27) වනදා යළි සිදුකිරීමට නියමිතය.

