පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව අද (29) දින විවෘත අධිකරණයේදී කැඳවයි.
මෙම නඩුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීඩ් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලදී.
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ සමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතීවු – කරෙයියක්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කෲර ලෙස ඝාතනය කිරීම යන සිදුවීම් සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වේ.
මෙම සිදුවීම්වලට අදාළ සැකකරුවෙකු වන පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීඩ් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
එම ඝාතන 5 සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ ලන්ඩනයේ පදිංචි ‘පොලිස් බෝයිස්’ ලෙස හඳුන්වන කාත්තන්කුඩි ප්‍රදේශයේ මොහොමඩ් බෝයිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළේය.
ඒ අනුව පිල්ලෙයාන් ඇතුළු තිදෙනා ලබන ඔක්තෝබර් (13) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය, මේ වනවිට ලන්ඩනයේ සැඟවී සිටින සැකකාර මොහොමඩ් බෝයිස්ට එරෙහිව නැවත වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළේය.

