මහින්දට, බැසිල්ට, ගෝඨාභයට මුහුණ පෙන්වා නාමල් අල්ලස් ගත් හැටි

LIVE

රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බව කියන චෝදනාවට අදාළව එයාර් බස් ගනුදෙනුව සහ රුපියල් මිලියන 70ක් ලබාගත් බවට චෝදනා නැගෙන ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවෙිය.

එහිදී එයාර් බස් නඩුවට අදාළව ලබන මස (13) වනදා දක්වාත්, ක්‍රිෂ් නඩුවට අදාළව ලබන (06) වනදා දක්වාත් පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම සිදුකළ විමර්ශන අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව භාවිත කර ඇති මුදල, මුදල් විශුද්ධිකරණයෙන් උපයා ගත් මුදල් බවට ඉන්දීය රජය දැනුම් දී තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරියා සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරියා සඳහන් කළේ,

“නිමල් පෙරේරා යන අය හරහා අවස්ථා දෙකකදී මිලියන 35 බැගින් මෙම සැකකරු භාරගෙන තිබෙනවා. ඒ බව සැකකරුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති අතර එය ඔහු විසින් තහවුරු කළා. මෙම සිදුවීමට අදාළ ප්‍රස්තූත ඉඩම ලබා දීමේදී රාජ්‍ය ආයතන ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙනවා.

එක් දවසක් තුළ අධ්‍යක්ෂ මණ්ඩලය මෙය අනුමත කරලා තියෙනවා. ඉන්දියානු රජය මෙරටට දැනුම් දී තිබෙනවා මෙම ගොඩනැගිල්ලේ කටයුතු සදහා අශුද්ධ මුදල් භාවිත කර ඇති බවට.

මෙම ප්‍රස්තූත ඉඩම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආයෝජනය කර තිබියදී තමයි නාගරික සංවර්ධන අධිකාරීය මගින් ක්‍රිෂ් සමාගමට පැවරීමට ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙන්නේ.

ඒ කාලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කළේ මොහුගේ බාප්පෙක් වෙන බැසිල් රාජපක්ෂ. ඒ කාලේ නාගරික සංවර්ධන අධිකාරීය පැවැතියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. එහි ලේකම් ලෙසත් මොහුගේ බාප්පෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ තමයි කටයුතු කළේ. මෙම ගනුදෙනුව වන විට රටේ ජනාධිපති ලෙස කටයුතු කලේ මොහුගේ පියා මහින්ද රාජපක්ෂ.

මේ සියලු කරුණු සලකා බලා තමයි දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකකරු සම්බන්ධව සහතිකයක් නිකුත් කර තිඛෙන්නේ. අධිචෝදනා පත්‍ර ඉක්මණින් ගොනු කිරීමට කටයුතු කරනවා.”

අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,

“නව දූෂණ විරෝධි පනතෙන් නෙමේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. එවන් අවස්ථාවක සැකකරුට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන මෙම සහතිකයේ වලංගුතාවයක් නෑ. මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී.”

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුවේ පළමු සැකකාරිය ලබන (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් එදින දක්වා නාමල් රාජපක්ෂද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

1 Comment
Most Voted
Newest Oldest