පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බව සඳහන් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එනිසා පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.
ඉකුත්දා මාධ්‍ය මගින් පළ කළ වාර්තා ඔස්සේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා තිබෙන බවට කරුණු දැනගත් බව ගෝඨාභය රාජපක්ෂ එම පෙත්සමෙන් සඳහන් කර ඇත.
එනිසා, තම පුද්ගලික නිදහස අහිමිවීමේ හෝ තමන් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවී ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බවත් පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම විමර්ශන වලට අදාළව මේ දක්වා තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
තමන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේ පරීක්ෂණ කොමිසම මගින් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව නිර්දේශ කීපයක් නිකුත් කර තිබූ බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
එනිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
එනිසා ශානි අබේසේකරට මෙම විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමට හැකියාවක් නොමැති බවත් තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාව ඇති බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබූ කොමිෂන් සභා හෝ එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති නඩු තීන්දුව තුළින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
එනිසා සිදුකරන විමර්ශන වලට අදාළව සහ මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා ඇත.
