සැක සහිත ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධව සිදුකරන විමර්ශන පිළිබඳ තමාට සෑහීමකට පත්විය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (22) දින විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
එම විමර්ශනයට අදාළ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මේ බව සඳහන් කළේය.
මරණය සිදුවූ ස්ථානයෙන් සොයා ගන්නා ලද හඳුනා නොගත් ද්‍රව්‍ය පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ජංගම දුරකථන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රශ්න කළ විට පොලීසිය ප්‍රකාශ කළේ, අවශ්‍ය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා උපාංගය විදේශීය ආයතන වෙත යොමු කර ඇති බවයි.
මරණ පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව හා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ලබාදෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත සිහි කැඳවීම් නිකුත් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
අනතුරුව මෙම නඩුව ලබන අගෝස්තු මස (19) වැනිදා යළි කැඳවිමට නියමිතය.

