පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඊයේ (05) දින සිට ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මෙම විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පාස්කු මහ නඩුව දිනපතා විභාග වේ.
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වෙයි.
මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ තීරණාත්මක තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් පවතියි.
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කළේය.
