දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන කණ්ඩායම් පෙරහැරේ ගමන් කිරීම තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.
ඒ අනුව පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න විසින් නිර්දේශ කර ඇත.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් බුද්ධි තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමුකර ඇත.
කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පාර්ශ්ව අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.
එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයන් කාවඩි නර්තන කණ්ඩායම් සමඟ එක්වීමට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇතිවී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවද අදාළ ලිපියෙන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.
එම නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී ඩ්‍රෝන යානා යොදාගෙන තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවද පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

