මහර බන්ධනාගාරයේ දේපළ වලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බවත් ඒවාට සම්බන්ධ රැඳවියන්ට හිරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
රැඳවියන් පෙර නොවු විරූ ආකාරයට ගිනි තැබීම් සිදුකර තිබෙන බවත් මෙම ගැටුම පිටුපස එම බන්ධනාගාරය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් තිබෙන බවට පෙනී යන බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
බන්ධනාගාරයේ පසුව ඇතිවූ තත්ත්වයන් ගැන බලන විට එහි බාහිර පාර්ශවයක් මැදිහත් වූ බවට සැකයක් මතුවන බවත් එනිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
මෙම ගැටුම් රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන් ද කියන එක ගැන අවධානය යොමුව තිබෙන බවත් තවත් බන්ධනාගාර තුනක් සම්බන්ධයෙන් තමාට ලැබී ඇති තොරතුරු බන්ධනාගාර ප්‍රධානීන්ට ලබාදුන් බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,
“මෙය රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන් ද කියන එක අපි අවධානය යොමුව තිබෙනවා. මේ අවස්තාව වනවිට සියලුම බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්.
ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබාදීලා තිබෙනවා. එනිසා ඇතිවන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.”

