මේ ගමන අවසන් නෑ.. ආපහු අපි බංකොළොත් වෙනවා

LIVE

එළැඹෙන 2028 වසරෙන් පසුව විදෙස් ණය ගෙවීමට නැවත සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

මේ ගමන මෙතනින් අවසන් වෙලා නැති බවත් එළඹෙන 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙන බවත් අපිට ණය ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

රංජිත් සියඹලාපිටිය විසින් රචිත “යුධ දෙකකට උර දී” යන ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ. 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා.

දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.  

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද, 

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි. තාම පාර්ලිමේන්තුව ඇතුළේ වත් පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ.

ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා.”

8 Comments
Most Voted
Newest Oldest