රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාරව සෑම පුරවැසියෙකුටම ගෞරවණීය ජීවිතයක් – සුරක්ෂිත රටක්’ තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් වන ‘රටම එකට’ ජාතික වැඩසටහනට පූර්ණ ශක්තියක් වෙමින්, මෙරට වෙළාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් මුලිනුපුටා දැමීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව අතිමහත් කැපවීමකින් යුතුව සිය සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටියි.
විශේෂයෙන්ම, ජාතියේ මතු පරපුර මෙම මාරාන්තික උවදුරින් ආරක්ෂා කරගැනීමේ උදාර අරමුණ පෙරදැරිව, නාවික හමුදාව සියලු සම්පත් හා ශ්‍රම දායකත්වය මැනවින් කළමනා කරණය කරමින් ඉතා කාර්යක්ෂම සහ පුළුල් මෙහෙයුම් ජාලයක් දිවයින වටා ඇති සාගර කලාපය මෙන්ම ගොඩබිම් ප්‍රදේශ ද ආවරණය වන පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ජාතික මෙහෙවරේදී නාවික හමුදාව පෙන්වන අසමසම දායකත්වය නිරීක්ෂණය කිරීමත්, එම වැඩසටහන නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසි මගපෙන්වීම් සහ උපදෙස් ලබා දීමත් අරමුණු කරගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (21) දින අකුරේගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය නිරීක්ෂණය කළේය.
මෙම සංචාරයේ තවත් ප්‍රධාන අරමුණක් වුයේ ජාතික මෙහෙවර උදෙසා අසමසම කැපවීමකින් ක්‍රියා කරන නාවික හමුදා සාමාජිකයින් දිරිගැන්වීම සහ ඔවුන් වෙත රජයේ ප්‍රණාමය පුද කිරීමයි.
නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව නාවික හමුදාධිපතිතුමන් විසින් නාවික සම්ප්‍රදානුකුළව පිළිගැනීමෙන් අනතුරුව විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත කැඳවාගෙන යන ලදී.
එහිදී රටම එකට වැඩසටහන යටතේ නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන මෙහෙවර, එහි වත්මන් ප්‍රගතිය සහ මත්ද්‍රව්‍ය ජාලයන් මැඬලීම සඳහා භාවිත කරන නූතන උපායමාර්ගික ක්‍රම වේදයන් පිළිබඳව නාවික හමුදාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
නිරීක්ෂණ චාරිකාව අවසානයේ අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිවයින වටා මුහුදු කලාපය ආවරණය කරමින් නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී මෙහෙයුම් සහ ඔවුන් ඉටු කරන එම ප්‍රශංසනීය කාර්යභාරය සිය විශේෂ ඇගයීමට ලක් කළේය.
වත්මන් අවශ්‍යතාවයන්ට අනුකූලව මෙම මෙහෙයුම් කටයුතු තාක්ෂණික හා උපායමාර්ගික වශයෙන් තවදුරටත් පුළුල් කිරීමටත්, නව මුහුණුවරකින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් එතුමා විසින් ලබා දෙන ලදී.
විශේෂයෙන්ම, මත්ද්‍රව්‍ය වලින් තොර සුවපත් දේශයක් උදෙසා නාවික හමුදාව දක්වන මෙම අසමසම කැපවීම සමස්ත ජාතියේම ගෞරවාදරයට ලක්විය යුත්තක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඉදිරියටත් මෙම ජාතික වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය රජය විසින් ලබාදෙන බව සහතික විය.

