ශ්‍රී ලංකාවට එන අලුත්ම මඟී ඩ්‍රෝන යානා

LIVE

දේශීය ගුවන්ගමන් සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් මඟී ඩ්‍රෝන යානා (eVTOL) සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා ඇතුලු නිලධාරීන් මෙන්ම චීනයේ EHang සමාගමේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන eVTOL යානා සිරස්ව ගුවන්ගත වීමටත්, සිරස්ව ගොඩබැසීමටත් හැකි අතර මඟීන් දෙදෙනෙකු සඳහා නිර්මාණය කර ඇති මෙම නව තාක්ෂණය AI සහ ස්වයංක්‍රීය පාලන පද්ධති මත පදනම් වේ.

සාම්ප්‍රදායික ගුවන් තොටුපළ යටිතල පහසුකම්වලට වඩා අවම ඉඩකඩකින් මෙහෙයුම් සිදුකළ හැකි වීම ද මෙහි විශේෂත්වයකි. වරාය නගරය ආශ්‍රිතව ආදර්ශ මෙහෙයුම් කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.

එමෙන්ම, සංචාරක කර්මාන්තයට පමණක් සීමා නොවී හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ විශේෂ අවශ්‍යතා සඳහා ද මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

කෙසේ වෙතත්, මෙවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ වාණිජ වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, හදිසි මෙහෙයුම්, සයිබර් හා දත්ත ආරක්ෂාව, සන්නිවේදන පද්ධති, ගොඩබැස්සවීම් ස්ථාන සහ මඟී ආරක්ෂාව ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ විධිමත් අනුමැතිය ලබාගැනීම පිලිබදවද අවධානය යොමුවිය.

අනාගතයේ ගුවන්සේවා ක්ෂේත්‍රය වෙනස් කරන නව තාක්ෂණයන් අද සිටම හඳුනාගෙන, ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංචාරක කර්මාන්තය සහ ජනතාවගේ අවශ්‍යතා සඳහා ඵලදායී ලෙස යොදාගැනීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest