ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ පවතින ඉහළ පුහුණු අවශ්‍යතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර 2025-02-10 දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අනුබද්ධ ශාඛාවක් ලෙස එම නව පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වලව කලාපයේ මයුරපුර කොට්ඨාසයේ හෙක්ටයාර 3.11ක ඉඩම් කොටසක ඉදිකිරීමට සැලසුම් කර ඇත.
කිරිඉබ්බන්වැව පාවෙන සූර්යය විදුලි බලාගාරය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය ආසන්නයේ එම නව පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට යෝජිත බැවින්, සිසුන්ට ඍජු ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇත.
යෝජිත නව පුහුණු මධ්‍යස්ථානය සහ අදාළ අනෙකුත් ආයතන ඒකාබද්ධව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු ජාලයක් (Training Hub) ක්‍රියාත්මක කිරීම එම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
එකී පුහුණු ජාලය හරහා බලශක්ති කාර්යක්ෂමතාව, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මෙන්ම සූර්ය, සුළං, ජල විදුලි සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විෂය දැනුම හා ප්‍රායෝගික පුහුණු ලබාදීම මඟින් දක්ෂ වෘත්තීය තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, රුපියල් මිලියන 398ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් එකී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

