හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (18) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත්තේය.
එකවර වැටුප් 02ක් ලෙස රුපියල් හැට එක් ලක්ෂ පනස් නව දහස් නවසිය හතළිස් නවයක (රු. 6,159,949) රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත්තේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව 2022 ජූලි (14) සිට 2024 පෙබරවාරි (21) දක්වා ඔහු රුපියල් 1,933,065ක මුදලක් දීමනා ලෙස ලබාගෙන ඇති අතර එම කාලය තුළදීම, එනම් 2022 ජූලි (25) සිට 2024 සැප්තැම්බර් (22) දක්වා විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද වැටුප් සහ දීමනා වශයෙන් රුපියල් 4,226,884ක මුදලක් ලබාගෙන ඇත.
තවද සුගීෂ්වර බණ්ඩාර ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිලධාරීන් 135 දෙනකු අනුයුක්ත කරගැනීමට කටයුතු කර ඇති අතර එම කාර්ය මණ්ඩලය සඳහා වැටුප් සහ දීමනා ලෙස රුපියල් 170,692,607ක මුදලක් ලබාදී ඇති අතර WP CAC – 4469 අංක දරන අවුඩි වර්ගයේ මෝටර් රථයේ නඩත්තු වියදම් වෙනුවෙන් රුපියල් 905,953ක වියදමක්ද ඔහු වෙනුවෙන් දරා ඇත.
2022 සිට 2024 දක්වා අවස්ථා 08කදී සුගීෂ්වර නිසි අනුමැතියක් ලබානොගෙන විදේශගත වී ඇති අතර මේ විදේශගතවීම් සඳහා නිවාඩු අනුමත කර නොගෙන වුවද, එම කාලයට අදාළ වැටුප් සහ දීමනා සියල්ල ලබාගෙන ඇත.
සුගීෂ්වර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂ ව්‍යාපෘති අංශයට වාහන 16ක් වෙන් කර ඇති අතර ඒ අතරින් වාහන 09ක් නිලධාරීන්ට ද, ඉතිරි වාහන 07 සංචිතයට ද අනුයුක්ත කර ඇති අතර එම සංචිතයට වෙන් කළ වාහන සඳහා සතියකට රුපියල් 165,000 සිට රුපියල් 265,000 දක්වා වටිනාකමකින් යුත් ඉන්ධන කූපන්පත් ලබාදී ඇත.
එලෙස ලබාදී තිබූ රුපියල් 18,680,000ක් වටිනා ඉන්ධන කූපන්පත් එම කාර්යාලයේ කටයුතු වලට භාවිත වූයේද යන්න සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නැත.
විශේෂ ව්‍යාපෘති අංශයට අදාළ 2023 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වන ආකාරයට එහි එක් කාර්යයක් වන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්, එම පෙරමුණේ සංවිධායකවරුන්, එම පෙරමුණට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් සම්බන්ධීකරණයයි.
ඒ අනුව මේ කාර්යාලයට අනුයුක්ත කර තිබූ 137ක කාර්ය මණ්ඩලය මේ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් ඒ සඳහා රුපියල් 240,976,291ක මුදලක් වැය කර ඇති බවද අනාවරණය වී ඇත.
