තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියගේ මළ සිරුර හමුවිය.
ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති අතර එම පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව පොලීසිය සඳහන් කරයි.
කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත් දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහාය අවශ්‍ය බවත් පවසමින් ඊයේ (17) දින උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අනතුරුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැති අතර පසුව CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී පසුගිය (16) වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරය එහි සටහන්ව තිබී ඇත.
අනතුරුව එම පෙම්වතා මිනිත්තු 40ක් පමණ රැඳී සිට පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇති අතර පසුව තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි එම මෝටර් රථය නවතා පෙම්වතා පළාගොස් ඇත.
පසුව තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිට ලැබුණ දුරකථන ඇමතුමෙන් පසු තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුවී ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බවයි.
ඔවුන් දෙදෙනා මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති අතර පසුව අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී ඇත.
එහෙත් මේ දක්වා විදේශගත වීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලීම මත අදාළ තරුණිය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට ඇති අතර අනතුරුව ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට පසුගිය ජූනි (03) වැනිදා පැමිණ ඇත.
ඒ අතරතුර අදාළ තරුණිය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3ක් ආහාර ලබාගෙන නොමැති බව පවසා ඇති බවත් අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් පවසා ඇතැයි වාර්තා වේ.
අදාළ තරුණියගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය ඇයගේ පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් එකක් බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මෙය ඝාතනයක්ද.? නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද.? යන්න මෙතෙක් තහවුරුවී නොමැති අතර ඇයගේ පෙම්වතා වන දිනෙත් දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.
