රටවල් 50ක ජ්‍යෙෂ්ඨ විධායකයින් 400කට අධික පිරිසක් ලංකාවට

‘World CIO 200 Awards & Roadshow’ වැඩසටහන, ප්‍රධාන තොරතුරු නිලධාරින්, ප්‍රධාන අත්දැකීම් නිලධාරින්, ඩිජිටල් පරිවර්තන නායකයින්, නවෝත්පාදකයින්, ආයෝජකයින් සහ ව්‍යාපාරික විධායකයින් සඳහා වන ලොව ප්‍රමුඛතම වේදිකාවක් ලෙස සලකනු ලබයි.

එම වැඩසටහනේ මීළඟ අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනා කරනු ලැබ ඇත.

එකී වැඩසටහන ගෝලීය වශයෙන් GEC Media Group විසින් සංවිධානය කරනු ලබන අතර සියලු වියදම් දැරීමට යටත්ව HTP Global Technologies LLC විසින් මෙරට පවත්වනු ලබන වැඩසටහන කළමනාකරණය සහ මූල්‍යකරණය සිදු කරනු ඇත.

ජාත්‍යන්තර සමුළුවක්, නායකත්ව සංසද, ව්‍යාපාරික සබඳතා ගොඩනැගීමේ සැසි, ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම්, ව්‍යාපාර අතර හමුවීම්, ප්‍රදර්ශන සහ සම්මාන ප්‍රදානෝත්සවයක් යන අංගයන්ගෙන් සමන්විත සිව් දින වැඩසටහනක් ලෙස එය පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවක ජ්‍යෙෂ්ඨ විධායකයින් 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

එමෙන්ම, නවෝත්පාදනය, තරුණ සහභාගිත්වය, ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සහභාගිත්වය දිරි ගැන්වීම සඳහා ජාත්‍යන්තර ‘Tech Marathon’ වැඩසටහනක් ද එයට ඇතුළත් කර ඇත.

එකී වැඩසටහන පැවැත්වීම මඟින් මෙරටට හිමිවන ආර්ථික, සංචාරක ආයෝජන සහ උපායමාර්ගික ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන ‘World CIO 200 Awards & Roadshow 2026’ වැඩසටහන සහ ‘Tech Marathon’ වැඩසටහන එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ලැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest