මෙරට විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) දිනයේ සිට රටේ පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇත.
1984 වසරේදී ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකින් වන අතර එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය අතිරේකව එක් කර ඇත.
රෝහල ආරම්භ කළදා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගින්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.
ඒ අනුව අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතය.

