කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර සිදුවු අනතුරට පෙර දුම්රිය මාර්ගයේ ඇණ ගලවා එම කොටස් රුපියල් 3,000ක මුදලකට විකුණා ඇති බවත් එම කොටස් මිලදී ගත් ස්ථානය හඳුනාගෙන එහි අයිතිකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කරයි.
එම දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු අනුව භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
එම දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර ඔහු වයස අවුරුදු 25ක් වන තරුණයෙකු වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
මෙහි විමර්ශන කටයුතු දිගින් දිගටම සිදු කරන අතර පොදු දේපලවලට හානි සිදු කිරීමට අමතරව මෙම අනතුරින් සිදුවූ හානිය හා අලාභය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට නඩු පවරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
වනවාසල ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කරයි.

