මෙරටට පැමිණෙන රටවල් 40ක පිරිස් සඳහා දින 30ක කාලයක් සඳහා පිරිනමන නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) දිනයේ සිට ක්‍රියාත්මක වේ.
ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ඔස්ට්‍රියාව, මැලේසියාව, සෞදි අරාබිය, ජර්මනිය, නේපාලය, දකුණු කොරියාව, බහරේන්, ඉන්දියාව, නෙදර්ලන්තය, ස්පාඥ්ඥය, බෙලාරුස්, ඉන්දුනීසියාව, නවසීලන්තය, ස්වීඩනය, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේට්, නෝර්වේ, ඕමානය, පකිස්තානය, පෝලන්තය, කටාර්, රුසියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපද යන රටවල ජාතිකයින්ට මෙම පහසුකම හිමිවනු ඇත.
රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා හෝ සාමාන්‍ය ගමන් බලපත්‍ර ඇති ඉහත සඳහන් රටවල ජාතිකයින්ට මෙම යෝජනා ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා ලබා ගැනීමට සුදුසුකම් හිමිවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉහත සඳහන් රටවල් 40 හි ජාතිකයින් සහ මෙරට සමග ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් ඇති ජාතිකයින් එනම් මාලදිවයින, සීශෙල්ස් සහ සිංගප්පූරුව ඇතුළු සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර විද්‍යුත් සංචාරක අවසරයක් (ETA) ලබා ගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම අනුව මාලදිවයින් ජාතිකයින්ට පෙර විද්‍යුත් සංචාරක අවසරය හරහා දින 90ක සංචාරක වීසා බලපත්‍රයක් ලැබෙනු ඇත.
ඉහත රටවල් 40හී ජාතිකයින් සඳහා සහ මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු ජාතිකයින් සඳහා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය නොමිලේ සකසනු ඇති බවද සඳහන් කර ඇත.
