අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගෙේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) දින රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජුනි මස (05) වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.
සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමට තීරණය කර ඇත.
