වත්මන් පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම විමර්ශනය සඳහා පොලිසියට අවසරය ලබාදුන් අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස (24) වෙනිදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
සාගර කාරියවසම්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදී අදාළව විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර ඊට අධිකරණයේ අවසරය හිමිව ඇත.
මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් පසුගියදා සඳහන් කළේ,
“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.“
