අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි.
නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය.
ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය.
අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.
එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.
