හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (16) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවයි.
එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂගේ වෛද්ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අදාළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්ය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අධිකරණය දැනුම් දී ඇත.
එම වෛද්ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්රාත්වරයා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව එය ඉදිරිපත් කර ඇති බවයි.
ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු එම වාර්තාවේ සඳහන් වන බව විවෘත අධිකරණයේදී ප්රකාශ කළ මහේස්ත්රාත්වරයා, ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට ද එහි සඳහන් වන බව සඳහන් කරයි.
එම අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වෛද්ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු දැක්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසයි.
ඒ අනුව, නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
