නීතිය සැමට සාධාරණව ක්රියාත්මක කරන ලෙසත් රට විනාශ කළ දූෂිතයින්ගේ කුමන්ත්රණ සඳහා ඉඩ ලබා නොදෙන ලෙස අවධාරණය කරමින් ජනවරමේ පුරවැසියෝ සංවිධානය අද කොළඹදී විරෝධතා පා ගමනක නිරත විය.
“හොරුන්ට, දූෂිතයන්ට, කුඩු ජාවාරම්කාරයන්ට දඬුවම් දීමට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණය පරාජය කරමු” යනුවෙන් සඳහන් විරෝධතා පාඨ රැගෙන ගාලු මුවදර පිටියේ ජනාධිපති කාර්යාලය ආසන්නයට ඔවුන් පැමිණියේය.
මහා සංඝරත්නය පෙරටු කරගත් මෙම විරෝධතා පා ගමනට සර්ව ආගමික නායකයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයෝ ඇතුළු විශාල ජනතාවක් ඊට එක්ව සිටියේය.
අනතුරුව ජනාධිපතිවරයාට සංදේශයක් බාර දීමට අවශ්ය බව විරෝධතා කරුවන් පැවසූ අතර එහි සිටි පොලිස් නිලධාරීන් පැවසූයේ මේ මොහොතේ ජනාධිපතිවරයා නොමැති බවත් නිලධාරීන්ට අදාළ සංදේශය බාරදීම සඳහා පහසුකම් සලසා දිය හැකි බවයි.
පසුව විරෝධතාවයේ නිරත වු පිරිසෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය තුලට යාමට අවස්ථාව හිමි විය.
