රුපියල් මිලියන 70ක් අල්ලස් ලබාගත් බවට චෝදනා නැගෙන ක්රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ කළ ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ (28) දින නැවත සලකා බැලුවේය.
එහිදී සැකකරුට ඇප ලබාදීමෙන් විමර්ශන ක්රියාවලියට බාධාවක් විය හැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනීසිටි සහකාර නීති අධ්යක්ෂ තනුජා බණ්ඩාර සඳහන් කළාය.
සහකාර නීති අධ්යක්ෂ තනුජා බණ්ඩාර සඳහන් කළේ,
“ඊයේ දේශන වලදී උගත් ජනාධිපති නීතිඥතුමා පැවසුවා, අද පීඩකයින් වශයෙන් ක්රියා කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකියි කියලා. ස්වාමීනි., මේ කවුරුන් ගැනද සඳහන් කරන්නේ.? අල්ලස් කොමිසම ගැනද.? එහි විමර්ශන නිලධාරීන් ගැනද.? එසේත් නැත්නම් සාක්ෂිකරුවන් ගැනද.? යන ප්රශ්නය මතු වෙනවා.
මොකද ස්වාමීනි., මේ විමර්ශනයට අදාලව ප්රකාශ ලබාදීමට අකමැත්තෙන් සිටි සාක්ෂිකරුවන් දෙදෙනෙකු ප්රකාශ ලබාදීලා තිබෙනවා. ඔවුන් කියා සිටිනවා මීට පෙර අවස්ථා දෙකකදී ප්රකාශ ලබාදී තිබුණත් එහිදී සත්ය කරුණු ප්රකාශ නොකළ බව.
මොකද ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයගේ ජීවිත වලට තර්ජනයක් සිදු වේ යැයි බියකින් ඔවුන් සත්යය පැවසීමට බිය වී තිබෙනවා. නමුත් මේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළාට පස්සේ ඔවුන් නැවත ප්රකාශය ලබා දෙමින් මෙතෙක් නොකියූ සත්ය කරුණු පවසා තිබෙනවා.
ඔවුන් කියන්නේ මේ සැකකාර නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන රක්ෂිත භාරයට පත්කර සිටීම නිසා තමන් නොබියව ප්රකාශ ලබා දෙනවා කියලා. එම ප්රකාශ අන්තර්ගත ලේඛනයක් මා ඔබතුමාගේ පරිශීලනය සඳහා පමණක් අධිකරණයටත් ඉදිරිපත් කරනවා.
ස්වාමීනි., බියෙන් තැති ගැන්මෙන් සිටි සාක්ෂිකරුවන් නොබියව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට ඉදිරීපත් වී තිබෙන්නේ මේ සැකකරුවන් රක්ෂිතබන්ධනාගාර ගත කර සිටින නිසා. අනාගතයේදී පීඩිතයින් බවට පත්වන්නේ මේ සාක්ෂිකරුවන් ද කියන ප්රශ්නයත් දැන් මතු වෙනවා.”
අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,
“ස්වාමීනි., මා ඊයේ දින කිව්වේ, අද පීඩකයින් වශයෙන් කටයුතු කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකි බව. එය අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරිය වැරදි ලෙස වටහාගෙන. ජනාධිපතිවරයා රට වටේ ගිහින් නඩු තීන්දුවල දින ප්රකාශයට පත් කරනවා.
පනස් දෙනෙකුගේ ලැයිස්තුවක් තිබෙන බව කියනවා. මෙදාට නියෝගය දෙනවා, රතිඤ්ඤා පත්තු කරන්න, අත්පොඩි ගහන්න කියනවා. ඒ නිසා, ඔබ තොප්පිය හරි නම් දාගන්න. අල්ලස් කොමිසම සහ අධිකරණය කියන්නේ ස්වාධීන ආයතන.”
අනතුරුව සහකාර නීති අධ්යක්ෂ තනුජා බණ්ඩාර සඳහන් කළේ,
“සැකකරු ඇප ඉල්ලීම, ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ කරුණු කිසිසේත්ම සුවිශේෂී කරුණු ලෙස සලකන්න බැහැ. යම් කිසි පුද්ගලයකුගේ දෙමව්පියන්ට පවතින අසනීප ඇප ලබා ගැනීමට සුවිශේෂී කරුණු හැටියට ඉහළ අධිකරණ තුළින්වත් ලබාදුන් තීන්දු තුළින් පිළිගෙන නෑ.
මෙම සැකකරුගේ දෙමව්පියන්ට අසනීප තත්ත්වයක් පවතී නම් ඔවුන්ව රැක බලාගන්න විශාල පිරිසක් සිටින බව කවුරුත් දන්නා කරුණක්. සැකකරුට අසනීප තත්ත්වයක් නෑ මෙතන. ඔහුගේ රෝගයකට ප්රතිකාර ලබාගත නොහැකි තත්ත්වයක් මතුව නෑ.
එම නිසා ඇප ඉල්ලා සිටිමින් සැකකරු ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු වශයෙන් සැලකිය නොහැකියි. එම නිසා ඇප ඉල්ලීමට විරුද්ධ වනවා ස්වාමිනී.”
අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,
“අපි හැමෝම දූෂණයට විරුද්ධයි. එනිසා තමයි වරින් වර අල්ලස් පනත විවිධකාර වෙනස් කිරීමට ලක් කරමින් අවසානයේදී කොමිසමක් දක්වා එය වර්ධනය වුණේ. අපගේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(5) ව්යවස්ථාවේ සඳහන් වෙනවා යම් අධිකරණයකින් පුද්ගලයෙකු වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වශයෙන් සැලකිය යුතු බවට.
ඒ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ සැකකරුටත් හිමි විය යුතුයි. චෝදනාවක් එල්ල වූ පමණින් මේ සැකකරුට එය අහෝසි වන්නේ නෑ. ඒ වගේම ඔහුට වෙනසක් විශේෂයක් සිදු නොකළ යුතුයි. දේශපාලන මතයක් නිසා ඔහුට විශේෂත්වයක් හිමි නොවිය යුතුයි. මේ රටේ කිසිවෙක් නීතියට උඩිනුත් නැහැ යටිනුත් නැහැ. නීතිය ඉදිරියේ සැවොම සමානයි. විධායකයට අවශ්ය පරිදි අධිකරණය හසුරුවන්න බැහැ.
අධිකරණ බලය යටත් කරන්න දෙන්න එපා. දැන් මේ සැකකරු දවස් 50ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. මත්ද්රව්ය ජාවාරම් නඩු වලට මරණ දඬුවම දුන්නත්, නඩු විභාගය සිදුවන කාලය තුළ ඔවුන්ට ඇප ලබා දෙනවා. මේ අල්ලස් නඩුවක්. උපරිම දඬුවම අවුරුදු 10යි. එතකොට ඇයි මේ නඩුවට ඇප ලබා දෙන්න බැරී.
මෙම සැකකරුගේ මව සහ පියා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඔහුගේ මව ඊයේ දින හදවත් ශල්යකර්මයකට භාජනය වී තිබෙනවා. පියා ඉතාම අසාධ්ය තත්ත්වයක පසුවෙනවා. මේ වගේ තත්ත්වයකදී ඔවුන්ට අවශ්ය කටයුතු කරදීම දරුවෙකුගේ වගකීමක්. මං දන්නේ නැහැ ඇයි ඒක සුවිශේෂී තත්ත්වයක් නොවන්නේ ඇයි කියලා. මේ කරුණු සුවිශේෂී කරුණු සේ සලකා, සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.”
අනතුරුව කරුණු සලකා බැලු ප්රධාන මහේස්ත්රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය නොවැම්බර් මස (03) වනදා ප්රකාශ කිරීමට දින නියම කළේය.
