සංගක්කාරට පළමු වතාවට කරදරයක්.. මුළු පවුලටම තර්ජන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට සහ ඔහුගේ පවුලේ අයට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුව ඇත.

එම ගුවන්තොටුපොළේදී Ryanair ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් කරමින්, තර්ජනාත්මක හා නොමනා අයුරින් සැලකූ බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුම ඔස්සේ සටහනක් තබමින් කුමාර් සංගක්කාර මේ පිළිබඳව විවෘතව ප්‍රශ්න කර ඇති අතර තමන්ට සහ පවුලේ අයට මුහුණදීමට සිදුවූ මෙම අත්දැකීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් එම සිදුවීම අතිශය කම්පන සහගත අත්දැකීමක් වූ බවද ඔහු ප්‍රකාශ කරයි.

“ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම්වලට ලක්වූ කිසිවෙකු හෝ සිටිනවාද.? මගේ පවුලේ සාමාජිකයන් සමඟ මට සුළු මොහොතකට පෙර එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ අතර එය අතිශයින්ම කම්පන සහගතයි. ඔවුන් අප ඇමතූ ස්වරූපය, ගුවන් ගමන් ක්‍රියා පටිපාටිය හැසිරවූ අක්‍රමවත් ආකාරය සහ ඔවුන්ගේ තර්ජනාත්මක හැසිරීම කිසිදු ගුවන් මගියෙකුට පිළිගත නොහැකි මට්ටමේ එකක්. මෙය ඩබ්ලින් නුවරදී මා ලැබූ පළමු අයහපත් අත්දැකීමයි.”

ක්‍රිකට් පිටිය තුළ සහ බැහැරවද සංයමයෙන් හා විනයගරුක භාවයෙන් කටයුතු කරන ක්‍රීඩකයෙකු ලෙස ගෝලීය ගෞරවයට පාත්‍රව සිටින කුමාර් සංගක්කාර එල්ල කළ මෙම චෝදනාවත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel