නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම, භාවිත කිරීම සහ බදු වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන (25) වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) දින නියෝග කළේය.
අද දින කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තිකරු චෝදනා වලට වරද පිළිගෙන ඇති බැවින් නඩු භාණ්ඩයක් වන අදාළ සුඛෝපභෝගී මෝටර් රථය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කිරීම සහ එම සුඛෝපභෝගී වාහනය සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් (25) වැනිදා දක්වා කල් තැබීය.
මේ අතර බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනා වලට වරද පිළිගන්නා බවට පසුගිය ඔක්තෝබර් මස (28) වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව අද (11) දින කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය (28) වනදා නියෝග කළේය.
