Local news

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබාගත යුතු බව ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනිඅවි අලුත්කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර එම සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත දන්වා ඇත.

ලංකාවේ මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක්

ලංකාවේ මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක්

මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම රෝගී තත්ත්වය මුලින්ම පසුගිය අප්‍රේල් (15) වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වූ බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළාය.

වාර්තා වී ඇති රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් වන අතර ඊයේ (31) පස්වරුව වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බවත් අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළාය.

මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් බවත් උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර වන අතර මෙනින්ජයිටීස් රෝගය බොහෝවිට දින කිහිපයක් ඇතුළත සුව වන බවද විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළාය.

රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානයෙන් තීරණයක්

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානයෙන් තීරණයක්

අමෙරිකාව සමඟ පවත්වමින් සිටි සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට ඉරානය තීරණය කර ඇත.

ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කර සිදුකරන ක්‍රියාවන් නිසා එරට සටන් විරාමය උල්ලංඝනය වී ඇති බව ඉරානය සඳහන් කරයි.

මෙයට විරෝධය දැක්වීමක් ලෙස, අමෙරිකාව සමඟ පවත්වමින් සිටි සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට ඉරානය තීරණය කර ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය.. අර්ජුන් සහ රවීට එරෙහිව නියෝගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය.. අර්ජුන් සහ රවීට එරෙහිව නියෝගයක්

පසුගිය 2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ඉවත දැමීය. 

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි ,අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම තීන්දුව අද (01) ප්‍රකාශයට පත් කළේය.

එබැවින් චූදිතයින්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩුව පවත්වාගෙන යා හැකි බව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව කඩිනමින් විභාග කරන ලෙසට නියම කළේය.

ඩුබායි සුද්දා අත්අඩංගුවට

ඩුබායි සුද්දා අත්අඩංගුවට

සංචාරක වීසා හරහා ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා වලට යොමු කළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් “ඩුබායි සුද්දා” ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද (01) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර කඩුවෙල ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බවට පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර මොහු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඥානසාර හිමිට එරෙහි නඩුවට දින නියම කරයි

ඥානසාර හිමිට එරෙහි නඩුවට දින නියම කරයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා ජුනි මස (26) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි මස (26) වනදා කැඳවන ලෙස නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරය ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේය.

18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ඉන්දියාවේදී ඝාතනය කෙරේ

18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ඉන්දියාවේදී ඝාතනය කෙරේ

ශ්‍රී ලාංකික 18 හැවිරිදි තරුණියක් ඉන්දියාවේ චෙන්නායි හි කොයිම්බතූර්හිදී ඝාතනය කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිව සිටි 18 හැවිරිදි යාන්සි නමැති තරුණියකි.

පෞද්ගලික රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලාංකික තරුණිය සමාජ මාධ්‍ය හරහා චෙන්නායි හි පදිංචි කාන්තාවක සමඟ මිතුරු වී ඇති අතර ඇයව මුණගැසීම සඳහා චෙන්නායි වෙත ගොස් ඇත.

අනතුරුව ඔවුන් දෙදෙනා රාත්‍රී කාලයේදී කොයිම්බේඩුහි පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී වෙනත් කණ්ඩායමක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ.

පසුව අදාළ තරුණිය ඉන් පිටව විත් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වය විසින් මෝටර් රථයෙන් ඇයව අනතුරට ලක් කර ඝාතනය කර ඇති බව වාර්තා වේ. 

යතුරු පැදියේ ගමන් කළ අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම අනතුර සිදුකළ මෝටර් රථයේ දේශපාලන පක්ෂයක ධජයක් සවිකර තිබූ බව අනාවරණය වී ඇත.

අදාළ රාත්‍රී සමාජ ශාලාවට මුද්‍රා තබා එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

අද (01) දිනයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සනත් මංජුල මේ බව සඳහන් කරයි.

අලි ඇතුන් සහ දිවියන් ගැන විශේෂ අවධානයක්

අලි ඇතුන් සහ දිවියන් ගැන විශේෂ අවධානයක්

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.

එම සංසදයේ සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී එල්-නිනො සහ ලා-නිනෝ දේශගුණික තත්ත්වයන්, අලි ඇතුන් සහ දිවියන්ගේ ජීවන රටාවට ඇති කරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළහ.

දේශගුණික විපර්යාස නිසා වනජීවීන්ට සිදුවන බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවත්, එහි පළමු පියවර ලෙස අලි ඇතුන් සහ දිවියන් සම්බන්ධ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ පාර්ශ්වයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ පරිසරවේදීන් ද සහභාගී වී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාවට අදාළ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්ධන QR ක්‍රමවේදය ගැන රජයෙන් දැඩි තීරණයක්

ඉන්ධන QR ක්‍රමවේදය ගැන රජයෙන් දැඩි තීරණයක්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක පවතින අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීමට සිදුවන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන ඉන්ධන QR ක්‍රමවේදය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ඔස්සේ ආර්ථිකයට සිදුවන බලපෑම යම්තාක් දුරට සමනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අද (01) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“මේ අර්බුදය දිගින් දිගටම යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැනටමත් දන්නවා QR ක්‍රමය හරහා, ඒ වගේම කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක සැලකිය යුතු ලෙස ඉන්ධන පරිභෝජනයේ අඩු කිරීමක් කරන්න අපිට පුළුවන්කම ලැබුණත්, තවමත් රටේ අවශ්‍යතාවයේ මට්ටමට මේක ඇවිල්ලා නැහැ.

දැන් මේ ලෝකය තුළ ඉන්ධන වෙළඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක, විශාල විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක සංසන්දනාත්මකව කොයි විදිහටද කියලා බැලුවොත්, ජනවාරි මාසේ මිලියන 186යි, පෙබරවාරි මාසේදී මිලියන 97යි, මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.

එතකොට මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන් අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදිහක අඩු කිරීමක් කරන්න. රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත්, මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.

ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉන්ධන පරිභෝජනය කිසියම් විදිහක අඩු කිරීමක් කරලා, අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදිහක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.”