Local news

බො⁣රතෙල් මිල ඉහළ⁣ට

බො⁣රතෙල් මිල ඉහළ⁣ට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා – ඉරාන අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 6.5%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන්ව ඇත.

තවද ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන්ව ඇත.

ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

අද (20) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, දකුණ පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

පාසල් වාරය ඇරඹෙයි

පාසල් වාරය ඇරඹෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (20) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් (10) වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් (19) වනදා දක්වා නිවාඩු ලබාදී තිබුණි.

ඒ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි (24) වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.

සාම සාකච්ඡා සඳහා ඉරානය පස්ස ගහයි.?

සාම සාකච්ඡා සඳහා ඉරානය පස්ස ගහයි.?

මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධයෙන් පාකිස්ථානයේ පැවැත්වෙන සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ ඩී වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, සහ අමෙරිකානු ජනාධිපති උපදේශක ජෙරඩ් කුෂ්නර් සහභාගී වන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

මේ අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙන සාම සාකච්ඡා සඳහා සිය නියෝජිත කණ්ඩායමක් යැවීමට තවමත් තීරණය කර නොමැති බව ඉරානය සඳහන් කරයි.

අනතුරු අඟවමින් අමෙරිකානු නියෝජිතයින් හෙට පාකිස්තානයට

අනතුරු අඟවමින් අමෙරිකානු නියෝජිතයින් හෙට පාකිස්තානයට

අමෙරිකානු නියෝජිතයින් ඉරානය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා හෙට (20) දින පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (19) තහවුරු කරයි.

සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

“හෝමූස් සමුද්‍ර සන්ධියේදී වෙඩි තැබීම් සිදුකිරීමට ඉරානය තීරණය කළා. එය සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රංශ නෞකාවක් සහ එක්සත් රාජධානියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කර ගත්තා.

ඒක සුදුසු නෑ. කෙසේ නමුත් මගේ නියෝජිතයන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත යනවා. ඔවුන් හෙට සවස සාකච්ඡා සඳහා එක්වනු ඇත. හෝමූස් වසා දමා ඉරානය නොදැනුවත්ව අපට උදව් කරනවා. අමෙරිකාවට කිසිවක් අහිමි වන්නේ නෑ.

දිනකට ඩොලර් මිලියන 500ක් අහිමි වන්නේ ඔවුන්ට. නාවික ගමනාන්ත වෙනස් වෙමින් පවතිනවා. බොහෝ නැව් දැන් අමෙරිකාව, ටෙක්සාස්, ලුසියානා සහ ඇලස්කාව වෙත යමින් සිටින්නේ. ඉරානය ඉක්මනින් කඩා වැටෙනු ඇත. ඔවුන් ගනුදෙනුව නොගන්නේ නම්, පසුගිය වසර 47 තුළ අනෙකුත් ජනාධිපතිවරු ඉරානයට කළ යුතුව තිබූ දේ මට කිරීමට සිදුවනු ඇත.”

ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමි බැහැදකී

ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමි බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

මෙහිදී උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සියලු ඉදිරි කටයුතු සුබදායීව සාර්ථක කර ගනිමින්, ලස්සන රටක් ගොඩනැගීමට ජනාධිපතිවරයා වෙත ශක්තිය, ධෛර්ය ප්‍රාර්ථනා කර ආශිර්වාදය පළ කළහ.

අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති පූජ්‍ය මාගාල්ලේ නාගිත නායක හිමි, මහා ලේඛකාධිකාරී දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය අහංගම මෛත්‍රී මූර්ති නායක හිමි, සහකාර ලේඛකාධිකාරී පූජ්‍ය හොරගල්ලේ සෝරත හිමි, පූජ්‍ය නිදහස්ගම කල්‍යාණසිරි හිමි, පුජ්‍ය මහමෙව්නාවේ මංගල හිමි, පූජ්‍ය අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමි ප්‍රමුඛ අමරපුර මහා නිකායේ නායක ස්වාමීන් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ පිළිසඳරකටද එක් විය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිත ද සොයිසා, භාණ්ඩාගාරික ධම්මික සමරවික්‍රම ඇතුළු දායක සභාවේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති අනුර හමුවූ ඉන්දීය උප ජනපති

ජනපති අනුර හමුවූ ඉන්දීය උප ජනපති

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් අද (19) දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

නායකයින් දෙදෙනාම ඉතිහාසය, ශක්තිමත් ශිෂ්ටාචාරය සහ ජනතාව අතර සබඳතා මුල් බැසගත් බහුවිධ ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති, ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවේ වඩාත්ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු ඇතුළු විවිධ මුලපිරීම් පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වූහ.

දෙපාර්ශ්වයේම ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සලකා බලා මානුෂීය ආකාරයකින් ධීවර ගැටළු විසඳීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

අද (19) උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව තහවුරු කරයි.

ඒ අනුව අද උදෑසන උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාව දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව මෙම වසරේ දියත් කළ හත්වන ⁠බැලස්ටික් මිසයිල දියත් කිරීම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය උප ජනාධිපති දිවයිනට

ඉන්දීය උප ජනාධිපති දිවයිනට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදු වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමග අද (19) දිනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිත ඉන්දීය උප ජනාධිපතිවරයා, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිතය.

මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වනු ඇති අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමට සැලසුම් කර ඇත.

නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

මිදිගම වෙඩි තැබීමක්

මිදිගම වෙඩි තැබීමක්

මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

නිවෙස් පරිශ්‍රයට ඇතුළු වී නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයකට ගිනි තබා අනතුරුව වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ල කළ බව නිවැසියන් සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම නිවසේ ව්‍යාපාරිකයා, බිරිඳ, දරු දෙදෙනා සහ තවත් වැඩිහිටියෙකු නිවසේ සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.

මෙම වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ස්ථාන කීපයක වෙඩි වැදී තිබුණ බව පොලීසිය සඳහන් කරයි.