Local news

බස් ගාස්තු ගැන තීරණයක්

බස් ගාස්තු ගැන තීරණයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළේය.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළේය.

කෙසේ වෙතත් ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) සඳහන් කරයි.

තමන්ට එරෙහිව සංවිධානාත්මක චරිත ඝාතනයක් මෙහෙයවමින් සිටිනවා

තමන්ට එරෙහිව සංවිධානාත්මක චරිත ඝාතනයක් මෙහෙයවමින් සිටිනවා

බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු සමඟ තමන් සබඳතා පැවැත්වූ බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ද්වේශසහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව තමන්ට එරෙහිව සංවිධානාත්මක චරිත ඝාතනයක් මෙහෙයවමින් සිටින බවද මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

තමා කිසිදු දිනක අපරාධකරුවන් හෝ ජාවාරම්කරුවන් සමඟ දේශපාලනය කර නොමැති බවද මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කරයි.

විශ්වවිද්‍යාල සමයේ සිටම වීදි බැස සමාජ සාධාරණත්වය සහ ජාතිවාදයට එරෙහිව සටන් කර ගොඩනැඟූ පිරිසිදු දේශපාලන ඉතිහාසයක් තමන් සතු බවද මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

තමන්ගෙන් කිසිදු විමසීමකින් තොරව, ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමේ චේතනාවෙන් මෙම පුවත පළ කර ඇති බවත් ITN සහ ලේක්හවුස් වැනි මාධ්‍ය ආයතන ඊට දායක වී ඇති බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ලේක්හවුස් ආයතනය අදාළ පුවත ඉවත් කරගැනීමට එකඟ වූ බවත් ස්වාධීන රූපවාහිනී සේවයට (ITN) එරෙහිව ඉදිරියේදී අධිකරණමය පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කළ 14 හැවිරිදි අයියා

සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කළ 14 හැවිරිදි අයියා

ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සිසුවෙකු ඒරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය (28) වෙනිදා එම දැරියගේ මළ සිරුර නිවසේ නානකාමරයේ ඇති ජල ටැංකියේ තිබී සොයාගත් අතර දුරකතනය ලබානොදීම හේතුවෙන් එම සිසුවා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම දරුවන් දෙදෙනාගේ මව විදේශගතව සිටින අතර එම සිදුවීම සිදුවන දිනයේ ඔවුන්ගේ පියා රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් සිට ඇති බව සඳහන් කරයි.

සිය නැගණියගෙන් එම සැකකරු දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීම දුරදිග ගොස් මෙම ඝාතනය සිදු කර ඇත.

අනතුරුව පියා රැකියාවට ගොස් නිවසට පැමිණ දරුවන්ව සොයා ඇති අතර එහිදී සිය දියණිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී ඇති අයුරු දැක වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිදිරි සිසුවාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සිය නැගණිය ඝාතනය සිදු කළ බවට ප්‍රකාශ කර ඇති අතර අනතුරුව එම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

බැසිල්ට අසාධ්‍යයි.. ගුවන් යානයකින් ලංකාවට එන්න බෑ

බැසිල්ට අසාධ්‍යයි.. ගුවන් යානයකින් ලංකාවට එන්න බෑ

මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔහුට ගුවන් ගමන් වල යෙදීමෙන් වළකින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

පැය ගණනාවක් පුරා දිවෙන ගුවන් ගමන්වල යෙදීමට බැසිල් රාජපක්ෂට දැනට සෞඛ්‍යමය හැකියාවක් නොමැති බව වෛද්‍ය වාර්තා මඟින් පැහැදිලි කර ඇති බවද හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් සමාගම් පවා ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීමට සූදානම් නොමැති බවද හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අධිකරණයට නොපැමිණි විට වරෙන්තු නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් සුවය ලැබූ සැනින් බැසිල් රාජපක්ෂ යළි පැමිණීමට සූදානම් බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව සඳහන් කරයි.

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට.?

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට.?

අද (31) දින සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ දැමීමේ  තීරණයක් ගෙන ඇත.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත අදාළ යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කරයි.

පසුගිය වර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් සහ මෙවර රුපියල් 24කින් වශයෙන් ආසන්නතම අවස්ථා දෙකේදී පමණක් ඉන්ධන මිල රුපියල් 36කින් ඉහළ ගොස් ඇති බවද ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කරයි.

සිනොපෙක් ඉන්ධන මිලේ වෙනසක්

සිනොපෙක් ඉන්ධන මිලේ වෙනසක්

සිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඉන්ධන මිල ඉහළ දමා ඇතත් සිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් මිල සංශෝධනයක් සිදුකර නොමැත.

සිනොපෙක් සමාගම මේ වන විටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් ‍495කි.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407කි.

සියලුම ඉන්ධන මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

සියලුම ඉන්ධන මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් ‍495කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285කි.

පල්ලේගම හිමිගේ ධුරය අත්හිටුවයි.. නව අටමස්ථානාධිපති පත් කෙරේ

පල්ලේගම හිමිගේ ධුරය අත්හිටුවයි.. නව අටමස්ථානාධිපති පත් කෙරේ

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද (30) නිවේදනය කළේය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත්කිරීම සිදුකළ බව එම නිවේදනයේ සඳහන් වේ.

විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

අද (30) දින ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් ප්‍රදේශ රැසක විසන්ධි කළ විදුලි සැපයුම නැවතත් යථා තත්ත්වයට පත් කර ඇතැයි ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

ඒ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

අද සවස තද වැසි

අද සවස තද වැසි

අද (30) දින ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.