Local news

මෙරට සිටි ඉරාන නාවිකයන් 240 යළි ඉරානයට

මෙරට සිටි ඉරාන නාවිකයන් 240 යළි ඉරානයට

මෙරට රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවට අයත් නාවිකයින් 240 දෙනෙකු අද (14) ඉරානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.

එම නාවික පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් විශේෂ ‘ටර්කිෂ්’ ගුවන් යානයක් මගින් පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රජයේ වන්දි යටතේ ඉදිකළ නව නිවසක සිට ජනපති අලුත් අවුරුදු සමරයි

රජයේ වන්දි යටතේ ඉදිකළ නව නිවසක සිට ජනපති අලුත් අවුරුදු සමරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්නගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) පෙරවරුවේ එක් විය.

පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි.

එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.

වැළලු ආයුධ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

වැළලු ආයුධ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

මඩකලපුව, කාත්තන්කුඩි, මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක LTTE ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදුකර ඇත.

එම භූමියේ අඩි විස්සක් පමණ ගැඹුරට කැණීම් කළ ද කිසිදු අවියක් හමු නොවූ බවත් අනතුරුව අදාළ වළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කරයි.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාගේ නියෝගයක් මත දැඩි ආරක්ෂක රැකවල් මැද මෙම කැණීම් කටයුතු සිදුකළ බව පොලීසිය සඳහන් කරයි.

අමෙරිකා – ඉරාන දෙවන වටයේ සාකච්ඡා

අමෙරිකා – ඉරාන දෙවන වටයේ සාකච්ඡා

මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී ඉස්ලාමභාද්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වනවිට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම කාලය අවසන් වීමට පෙර මෙම සාකච්ඡා වටය ආරම්භ කරනු ඇති බව වාර්තා වේ.

එම දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අමෙරිකාව සහ ඉරානය අතර පසුගිය (11) පළමු වටයේ සාකච්ඡාවක් පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණද එය එකඟතාවයකින් තොරව අවසන් විය.

සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් සෞභාග්‍යමත් දේශයක් ගොඩනගමු

සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් සෞභාග්‍යමත් දේශයක් ගොඩනගමු

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ.

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයකි.

පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සුබ නැකතට වැඩ අල්ලමින් මෙම අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි මම පළමුව ප්‍රාර්ථනා කරමි.

අප අලුත් අවුරුද්දේ දකින සුවිශේෂීත්වය හා අපගේ අනන්‍යතාවය වන්නේ එකම නැකතකට චාරිත්‍ර සමූහයක් හරහා මුළු රටක් එකම රිද්මයකට පෙළගැසීමයි. විවිධ කාර්යබහුලත්වයන් සහ අභියෝග හමුවේ වුවද, පවුලක් ලෙස සහ රටක් ලෙස නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාමට මෙම කාලය අපට වටිනා අවස්ථාවක් ලබා දෙයි.

අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කොට, සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමයි. විශේෂයෙන්ම වර්තමාන ගෝලීය අර්බුද හමුවේ වුවද, පසුගිය කාලසීමාවන්හිදී අප ජාතියක් ලෙස විවිධ ස්වභාවික සහ ආර්ථික අභියෝගයන්ට අභීතව මුහුණ දුන් ආකාරය ලෝකයටම ආදර්ශයකි. එම සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අපගේ වගකීමකි.

මෙම සුබ මොහොතේදී, විදෙස්ගතව සේවය කරමින් සිය පවුලේත්, රටේත් අනාගතය වෙනුවෙන් කැපවන ලාංකේය සහෝදර සහෝදරියන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරමි. විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු ලොව පුරා විසිරී සිටින ඔබ සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.

පැමිණෙන සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් වූත් සෞභාග්‍යමත් වූත් දේශයක් ගොඩනැගීමට අපි සැවොම අලුත් සිතිවිලිවලින් යුතුව අදිටන් කරගනිමු. දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස, සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් අපි නොනැවතී කැපවෙමු.

සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගමු.. ජනපති අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරයි

සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගමු.. ජනපති අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරයි

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.

පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි.

රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය.

එමෙන්ම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර-වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමයි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි.

පසුගිය වසරේ මුහුණ පෑ මෑතකාලීන විශාලතම ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ අප ලොවට පෙන් වූ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්දයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට ඇවැසි වැඩපිළිවෙළද රජය විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

රටක් ලෙස එක්ව මෙම අභියෝග ජයග්‍රහණය කිරීමේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ප්‍රකට කෙරෙන සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට කැප වෙමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලමි.

දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා’යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.

ඊශ්‍රායල – ලෙබනන් සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙයි

ඊශ්‍රායල – ලෙබනන් සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙයි

ලෙබනනය සහ ඊශ්‍රායලය තානාපතිවරුන් අතර වොෂින්ටනයේ පැවැත්වෙන හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

ඊශ්‍රායලයේ යෙචියෙල් ලෙයිටර් සහ ලෙබනනයේ නාඩා හමාඩේ මොවාඩ් මෙලෙස රූබියෝ සමඟ සාකච්ඡා සඳහා එක්වීමට නියමිත අතර එරට වේලාවෙන් පෙරවරු 11:30ට ආරම්භ වීමට නියමිතය.

මෙම සාකච්ඡාවල විශේෂ අරමුණ වන්නේ දකුණු ලෙබනනයේ ගැටුම අවසන් කිරීම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් 6,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

හෝමූස් කලාපයට එන අමෙරිකානු නෞකා වලට පහර දෙනවා – ඉරානය

හෝමූස් කලාපයට එන අමෙරිකානු නෞකා වලට පහර දෙනවා – ඉරානය

හෝමූස් කලාපයට පැමිණෙන ඕනෑම අමෙරිකානු සන්නද්ධ නෞකාවකට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවයි.

අමෙරිකාව ඉරාන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, පර්සියානු ගල්ෆ් කලාපයේ හෝ ඕමාන මුහුදේ පවතින කිසිදු වරායක් ආරක්ෂිත නොවන බවද ඉරානය සඳහන් කරයි.

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අරඹයි

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අරඹයි

අමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ආරම්භ කර ඇති බවත් ඒ අනුව නෞකා වලට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු නාවික හමුදාවේ අවහිර කිරීම් වෙත සමීප වුවහොත් ඉරාන ‘ප්‍රහාරක යාත්‍රා’ විනාශ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

මේ අතර ඉරානය ආපහු අමෙරිකාව සමග සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාව “අල්ලා ගැනීමට” සහ ඔහු කරන තර්ජන ගැන තමාට “කිසිදු බියක්” නොමැති බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

තම රට අමෙරිකා ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් තමන් මිය යාමට කැමැත්තෙන් සිටින බවද කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

කොන්දේසි නොමැතිව අමෙරිකාව සමඟ සංවාදයට විවෘත බවත් නමුත් වොෂින්ටනය ඉල්ලා සිටියහොත් ඉල්ලා අස්වන ලෙසට වන කිසිදු යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවද කියුබානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

“එහෙම උනොත් සටන් ඇති වෙයි, අරගලයක් ඇති වෙයි, අපි අපිවම ආරක්ෂා කරගන්නවා, අපිට මැරෙන්න ඕන උනොත් අපි මැරෙයි, මොකද අපේ ජාතික ගීය කියන විදියට, නිජබිම වෙනුවෙන් මැරීම ජීවත් වීමටයි.”

කියුබානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ, අමෙරිකානු NBC රූපවාහිනි නාලිකාවේ පැවැත් වූ Meet the Press වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.