Local news

විපතට පත් ජනතාවට සහන සැලසීමට පරිපූරක ඇස්තමේන්තුවක්.!

විපතට පත් ජනතාවට සහන සැලසීමට පරිපූරක ඇස්තමේන්තුවක්.!

පසුගිය දිනවල මුළු දිවයින පුරාම පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පැන නැගී ඇති අනපේක්ෂිත හදිසි ආපදා තත්ත්වය නිසා විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට හැකිවන පරිදි පරිපූරක ඇස්තමේන්තුවක් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වු අතර එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක යෝජනා කළේය.

මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්.!

මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්.!

‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඊයේ (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ,

“අයහපත් කාලගුණයෙන් අපේ පුරවැසියන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඒ පිරිසට අවශ්‍ය සහන සැලසීමට රජය මැදිහත් වෙනවා වගේම, විදෙස්ගතව සිටින ශ්‍රී ලාකිකයන්ගෙනුත් විපතට පත් පිරිසට අවශ්‍ය කරන සහාය ලබා දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් තිබුණා. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියාවලියට මැදිහත් වී, මේ වන විට වැඩපිළිවෙළ 02ක් අනුගමනය කරමින් සිටිනවා.

එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළා. මේ වන විට 19,000කට අධික විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් එහි මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ වගේම, දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව මෙරටට භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙනවා. ඒ වගේම එලෙස භාණ්ඩවලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර තිබෙනවා.

මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව කිව යුතුයි.

කෙසේ නමුත් මෙලෙස එවන භාණ්ඩවලට මෙම පහසුකම ලැබෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙනවා.

ඒ වගේම, සියලුම රටවල තානාපති කාර්යාල හරහාද මේ පිළිබඳ දැනුවත් කිරීම් කර තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබීමෙන් අනතුරුව ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කඩිනමින් විපතට පත් වූවන් වෙත බෙදා දීමේ වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට බැංකු හරහා මුදල් එවීමට අපහසුතා පවතින්නේ නම් අදාළ රටේ තානාපති කාර්යාල හරහාද මෙරටට මුදල් එවීමට හැකියාව පවතිනවා. විදෙස්ගත ශ්‍රමිකයන් වශයෙන් ඔබ එවන මුදල් සහ භාණ්ඩ ලබා දෙන්නේ ඔබේ සහෝදරයාට, අසල්වැසියාට වෙන්න පුළුවන්. එම නිසා විපතට පත් වූවන්ගේ ජනජීවිතය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි.”

බංග්ලාදේශ රජයෙන් ආධාර තොගයක්.!

බංග්ලාදේශ රජයෙන් ආධාර තොගයක්.!

බංග්ලාදේශ රජයෙන් මානුෂීය සහන තොගයක් රැගත් ගුවන් යානයක් අද (03) දින මෙරටට ළඟාවිය.

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ‘C-130’ ගුවන් යානයක් මෙලෙස පැමිණි අතර එහි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් විසින් සහනාධාර තොගය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මයුරි පෙරේරා වෙත භාර දුන්නේය.

කොළඹ ගංවතුර අවසන්.. දකුණේ බෝට්ටු නැවත දියඹට යයි.!

කොළඹ ගංවතුර අවසන්.. දකුණේ බෝට්ටු නැවත දියඹට යයි.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පෙන්නුම් කරන කැලණි ගඟේ නාගලගම්වීදියේ ජල මට්ටම සාමාන්‍ය අතට පත්ව ඇති බවයි.

මේ වනවිට එහි ජලය පවතින්නේ අඩි 3.70ක් ලෙස සාමාන්‍ය මට්ටමක බව සඳහන්.

කෙසේවෙතත් මල්වතුඔය තන්තිරිමලේ තවමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර එය ද බැසයමින් පවතින බව වාර්තා වෙයි.

රටේ සෙසු සියලුම ජලාශ ආශ්‍රිත ගංවතුර තත්ත්වය බැසගොස් මේ වනවිට මුළුමනින්ම සාමාන්‍ය අතට පත්ව ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

විදේශිය රටවල පවතින දූෂිත වත්කම් නැවත පවරා ගැනීමට ජාත්‍යන්තර එකඟතාව හිමි වෙයි.!

විදේශිය රටවල පවතින දූෂිත වත්කම් නැවත පවරා ගැනීමට ජාත්‍යන්තර එකඟතාව හිමි වෙයි.!

ඊයේ (02) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා සහ ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ උසස් නිලධාරීන් (StAR inititive) සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී එම නියෝජිතයින් මෙරට පුද්ගලයින් විසින් දුෂණයෙන් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා වූ ක්‍රියාදාමයකට අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත යටතේ දුෂණයෙන් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ ක්‍රියාදාමයට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පොලිස් කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ මුල්‍ය බුද්ධි අංශය යන ආයතනවලට අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ ( StAR inititive) එකඟතාවය පළ කර ඇති බව සඳහන්.

මෙම ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වු අතර, දුෂණ විරෝධී පනත, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත සහ වත්කම් හා බැරකම් පනත සකස් කිරීම වෙනුවෙන් ද ඔවුන්ගේ සහාය ලබා දී තිබෙනවා.

දූෂණයෙන් උපයාගත් වත්කම් ආපසු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික දුෂණ විරෝධී සම්මුතිය අනුව ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ ස්ටාර් ක්‍රියාදාමය සකස් කර තිබෙනවා.

ස්ටාර් ආයතනයේ (StAR Initiative) ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ, Laura Pop, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක, ලෝක බැංකුවේ මෙරට රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂඥ Till Hartmann, ස්ටාර් ආයතනයේ උපදේශක Dmytro Kotlyar, ,ස්ටාර් ආයතනයේ විශේෂඥ Karen Greenaway, සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක්.!

විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක්.!

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට තීරණය කර ඇත.

විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොරව නැවත ආරම්භ කිරීමට පසුගිය (28) වනදා මහපොළ වාරිකයක් ගෙවීමට කටයුතු කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම වාරිකයට අමතරව ගෙවීමට තීරණය කළ මහපොළ වාරිකය එළැඹෙන (05) වනදා ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරයි.

පැලවත්තේ බලය පාර්ලිමේන්තුවට දෙන්න.!

පැලවත්තේ බලය පාර්ලිමේන්තුවට දෙන්න.!

ජනාධිපතිවරයා වහාම පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) සඳහන් කරයි.

ජනාධිපති සහ අගමැති කාර්යාලවල ආපද‍ා මෙහෙයුම් මධ්‍යස්ථාන නැති බවත් පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපද‍ා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

දේවාල කමිටු සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි.!

දේවාල කමිටු සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි.!

පසුගියදා අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ‘ලොකු පැටී’ නම් අපරාධකරුගේ පාර්ශවයෙන් තමන්ට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලැබුණු බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.

තමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවත් ඒ ඔස්සේ ලොකු පැටී හඳුනාගත් බවත් එම ඝාතනය සඳහා රුපියල් 190,000ක මුදලක් ලබාදුන් බවත් එම මුදලින් අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති මිලදී ගත් බවද සැකකරු පොලීසිය හමුවේ හෙළිකර ඇත.

තවද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ‘මහදුර ඉසුර’ නැමැත්තා විසින් ඝාතනය සිදුකළ දිනයේ තමන් අලුත්ගම, දර්ගා නගරයේදී ඔහු පැමිණි මෝටර් රථයට නංවා ගත් බවද සැකකරු පොලීසිය හමුවේ හෙළිකර ඇත.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබාදී ඇත.

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි.!

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (03) දින සවස 5.00ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

මේ මොහොතේ IMF එකෙන් ඉවත් වෙන්න.. මම ට්‍රම්ප් හමුවී කතා කරන්නම්.!

මේ මොහොතේ IMF එකෙන් ඉවත් වෙන්න.. මම ට්‍රම්ප් හමුවී කතා කරන්නම්.!

රටට බලපා ඇති විපත හමුවේ නව අයවැයක් සම්මත කරගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ජනතා පීඩක කොන්දේසි ඉවත් කරගැනීම සම්බන්ධයෙන් රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.

වහාම නව අයවැයක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව විපතට පත් වූ ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා කෙටි කාලීන, දින කිහිපයක් තුළ ක්‍රියාත්මක වන නව අයවැයක් වහාම අවශ්‍ය බව ඒ මහතා අවධාරණය කළේය.

ලක්ෂ 15කට අධික ජනතාවක් විපතට පත් වී ඇති තත්ත්වයක් තුළ, හදිසි මහා විපතක් නොසලකා සිකුරාදා සම්මත කරගැනීමට නියමිත අයවැය ඉදිරියට ගෙන යෑම “විහිළුවක්” බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තවත් දින කිහිපයක් කාලය ගෙන, ලබන සතියේදී හෝ, විපතට පත් ප්‍රදේශ සහ යටිතල පහසුකම් ගොඩනැගීමට යොදාගත හැකි වන පරිදි නව අයවැයක් ඉදිරිපත් කර, ඛේදවාචකයට මුහුණ දුන් ජනතාවට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීම වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් (International Donor Conference) කැඳවිය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

රජයට එය සිදු කිරීමට හැකියාවක් නොමැති නම්, නිසි බලතල සහිතව එය භාර ගැනීමට විපක්ෂය සූදානම් බවට ඒ මහතා රජයට දන්වා සිටියේය.

IMF කොන්දේසි ඉවත් කිරීමමිනිස් ජීවිත අහිමි වී, මහා ඛේදවාචකයක් සිදුව ඇති මොහොතක, “දරදඬු බරපතල ජනතා පීඩක ජනතා හිංසන IMF කොන්දේසි” සමඟ ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව ඒ මහතා විමසා සිටියේය.

වහාම එම කොන්දේසි ඉවත් කරගැනීමට කටයුතු කරන ලෙසත්, රජයට IMF සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නම් විපක්ෂය ද ඊට එකතු කරගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂය සහයෝගය ලබා දීමට සූදානම් බවත්, අවශ්‍ය නම් සර්ව පාක්ෂික කණ්ඩායමක් ලෙස ගොස් ප්‍රතිචාරක බදු ඉවත් කරගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට හෝ ලිවීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

අරමුදල් යෙදවීම සහ සහන වැඩපිළිවෙලIMF කොන්දේසි පිළිබඳ කතා කිරීම “විහිළුවක්” බව සඳහන් කරමින්, දැනට ඉතිරි කරගෙන ඇති අමතර අරමුදල් රට ගොඩනැගීමට යොමු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.