Local news

රජය ගෙන යන වැඩපිළිවෙළට IMF නියෝජිතයන්ගේ ප්‍රසාදය

රජය ගෙන යන වැඩපිළිවෙළට IMF නියෝජිතයන්ගේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වනවිට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූහ.

මෙහිදී විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර මෑතකාලීන ආර්ථික වර්ධනයන් මෙන්ම, දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් විය.

විශේෂයෙන්ම, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ලෙස ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම මගින් මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත් වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

ළඟා කර ගත් ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල වී ඇති බාහිර අභියෝගය හමුවේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කෙරෙහි සිදුව ඇති බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මහජනතාවට ඇති වන දුෂ්කරතා සහ බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ වැදගත්කමද අවධාරණය කළේය.

මෙම බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ළඟා කරගත් ආර්ථික වර්ධනය පවත්වා ගනිමින් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක් විය.

මම කියන්නේ ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා

මම කියන්නේ ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා

ගල්අඟුරු වංචාව සිදු කළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. 

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි හැමෝම දකිනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ජනාධිපතිවරයාගේ හැම ප්‍රකාශයක්ම ජනාධිපතිවරයාගේ හැසිරෙන විදිය බැලුවම සහ ඔවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගන්න හැම ක්‍රියා කලාපයක්ම බැලුවම පැහැදිලි වෙනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා.

මොකද ඔය කියන පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති කාලයේ අමාත්‍යාංශයට ගේන්නේ. ඉතින් ඒ ගෙනල්ලා පහු කාලීනව ඔහුට දැන් අධි චෝදනත් ලැබිලා තියෙනවා කරපු වංචාවක් සම්බන්ධයෙන්. ඒ හා සමාන වංචාවක් දැන් ගල්අඟුරු ගෙනල්ලත් සිද්ධ කරලා තියෙනවා.

ඉතින් කලින් ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොට රජයේ ඉහළ තනතුරකට පත් කරලා පහු කාලීනව අධි චෝදනාවත් ලැබිලා දැන් ඔහුව කැබිනට් ඇමතිවරයෙක් කරලා බාල ගල් අඟුරු ගෙනල්ලා තවදුරටත් ඔහුව ආරක්ෂා කරනවා නම් ජනාධිපතිවරයාට මේක බැලූ බැල්මට වංචාවක් ලෙස පේන්නේ නැත්නම් පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා.”

පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි. 

කොලොන්නාවේ ගංවතුර පාලනයට ස්ථිරසාර විසඳුම්

කොලොන්නාවේ ගංවතුර පාලනයට ස්ථිරසාර විසඳුම්

කැලණි ගගේ පහත් බිම් ආශ්‍රිතව පිහිටා ඇති කොලොන්නාව ප්‍රදේශයේ නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්ත්වය ස්ථිරසාරව පාලනය කිරීම සදහා තෙවසරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

මේ යටතේ ක්‍රියාත්මක කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් (02) දින නිල වශයෙන් ආරම්භ කල අතර එහි සමාරම්භය අංගොඩ, මදිනවත්ත, සැලළිහිණි මාවත ඇල කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.

නිරන්තරව ගංවතුර අවදානමට ලක්වන කොලොන්නාවේ ජලාපවහන පද්ධති නවීකරණ ව්‍යාපෘතිය මගින් නාගරික ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සිදුකරන අතර පූර්ව අනතුරු ඇගවීම් හා ඉක්මන් ජලය බැසයාම යථාවත් කිරීම තුලින් ගංවතුර හානි අවම කිරීම් ද සිදුවේ.

අද ආරම්භ කළ කොලොන්නාව ගංවතුර පාලන ජාතික ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇල මාර්ග 04 ක් කුඩා පාලම් සහ බෝක්කු 50 ක් ජල රැඳවුම් තටාක 07 ක් සහ පොම්පාගාර 02 ක් ප්‍රතිසංස්කරණය කෙරේ.

ඒ යටතේ දහම්වෙල ඇල කිලෝමීටර් 3.88 ක් ද පස්සන්න ඇල කිලෝමීටර් 4.88 ක් ද සැලළිහිණි මාවත ඇල කිලෝමීටර් 3.25 ක් ද දඩුතොට ඇල කිලෝමීටර් 0.97 ක් ද ගැඹුරු සහ පුළුල්කර ජල රඳවන ධාරිතාව වැඩිවන ලෙස ප්‍රතිසංස්කරණ සිදු කෙරේ.

ඇල මාර්ග පද්ධතිය සංවර්ධනයට සමගාමීව ඒ ආශ්‍රිතව ඇවිදින මංතීරු සහිතව මහජන උද්‍යාන නිර්මාණය කිරීමටද නියමිතය. මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 10,700කි. 2029 වසර අවසන් වීමට පෙර සමස්ත ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කෙරේ.

ප්‍රතිසංස්කරණ කාර්යයන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකෙරේ.

ඇල වේලි සංරක්ෂණය සහ කසල කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වාර්මාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.

නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණයට යයි

නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණයට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගී වීමට හැකිවන පරිදි තමන් වෙත විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා නම් කර ඇත. 

ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනු කළ මෙම පැමිණිල්ල අද (02) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අදාළ පැමිණිල්ල කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස (09) වනදා කැඳවීමට නියම කළ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

පැය 24ක ජල කප්පාදුවක්

පැය 24ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශ වලට අදිරය වශයෙන් ජල කප්පාදුව සිදු කරන බවත් පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බවද සඳහන් කරයි.

හෙට (03) හෝමාගම ප්‍රදේශයටත්, අනිද්දා (04) පැලැන්වත්ත ප්‍රදේශයටත් රාත්‍රි 8.00 සිට පැය 24ක කාලයක් ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි. ‍‍

කපිල චන්ද්‍රසේනට දුන් නියෝගය

කපිල චන්ද්‍රසේනට දුන් නියෝගය

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අද (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන (17) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (02) නියෝග කළේය.

සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණයේදී දක්නට නොලැබෙන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවා.

සැකකරුට ඇප ලබා දුන්නොත් සැකකරුගේ ජිවිතයට තර්ජනයක් විය හැකි බැවින් සැකකරු විමර්ශනය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදි මෙම නියෝගය කළේය.

හිටපු ඇමති විජේසේකර ජීවිතයෙන් සමුගනී

හිටපු ඇමති විජේසේකර ජීවිතයෙන් සමුගනී

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 83 වන වියේ පසුවිය.

මාතර, ගොඩපිටියේදී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්වූ මහින්ද විජේසේකර හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ පියාණන් වේ.

චමල්ගේ පුතා ෂමීන්ද්‍ර සහ ප්‍රියංකා අත්අඩංගුවට ගන්න කියයි

චමල්ගේ පුතා ෂමීන්ද්‍ර සහ ප්‍රියංකා අත්අඩංගුවට ගන්න කියයි

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් මීට පෙර කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද දින සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම වරෙන්තු නිකුත් කරන ලදි.

මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල් වෙත යැවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා ආගමන හා විගමන පාලක වරයාට නියෝග කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද 2016 අප්‍රේල් (29) දිනැති චක්‍රලේඛයෙහි සඳහන් උපදෙස්වලට අමතරව මෙම චක්‍ර ලේඛයේ විධිවිධාන මින් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව එහි සඳහන් වේ. 

ඒ අනුව සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා හෝ කිසිදු ශාරීරික හෝ මානසික හෝ හානියක් සිදුනොකළ යුතු අතර කිසිදු ආකාරයක ශාරීරික දඩුවමක් කවර මට්ටමකින්වත් සිදුකළ නොහැකි බවත් වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් හිමිවන බවද චක්‍රලේඛයේ සඳහන් වේ.

සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද අදාළ චක්‍රලේඛය මඟින් අවධාරණය කර ඇත.

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනය ලංකාවට බලපායි.?

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනය ලංකාවට බලපායි.?

අද (02) දින අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදු කළේය.

එහෙත් ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බව හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.