Local news

කෙහෙළියට අනුබල දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට.!

කෙහෙළියට අනුබල දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේදී, තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000 (කෝටි 3)ක මුදලක් තම සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක්ට එරෙහිව චෝදනා එල්ල වේ.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් එම ව්‍යාපාරිකයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ, මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමත්, මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදුකිරීම යන චෝදනාවත් අදාළ ව්‍යාපාරිකයාට එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද ව්‍යාපාරිකයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස (10) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

සිවිල් ආරක්ෂක භටයින් ගැන රජය ගන්න යන තීරණය.!

සිවිල් ආරක්ෂක භටයින් ගැන රජය ගන්න යන තීරණය.!

ශ්‍රී ලංකා පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 10,000ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

තවත් සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

සිවිල් ආරක්ෂක බලකායේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන්, මානව සම්පත් කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි. 

ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වයි.!

ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වයි.!

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF), නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම් (2026-2030) ඊයේ (28) දින නිල වශයෙන් දියත් කරන ලදී.

මෙහි අරමුණ වන්නේ සියලු ආකාරයේ තැනැත්තන් වෙළඳාම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති දැඩි කැපවීම යළි තහවුරු කිරීම සහ සම්බන්ධීකරණය කරන ලද ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමයි.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම නව උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම දියත් කිරීමේ නිල උත්සවය පැවැත්විණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නීතිපති ගරු පාරින්ද රණසිංහ මහතා, ආරක්ෂක ලේකම් සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ මෙහෙයුම් ප්‍රධානී Kristin Parco මහත්මිය ද සහභාගී වූහ.

තවද, රජයේ ප්‍රධාන ආයතන 23ක් නියෝජනය කරන කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ Entities and Civil Society සංවිධානයේ (CSOs) නියෝජිතයින් පිරිසක් ද මීට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය,

“ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට ගොදුරු වූවන් රැකබලා ගැනීම සඳහා එම වින්දිතයන්ගේ ක්ෂණික ආරක්ෂාව සහ දිගු කාලීන පුනරුත්ථාපන ක්‍රියාවලිය යන දෙඅංශයම ආමන්ත්‍රණය කරන පරිපූර්ණ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී සහ වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අවශ්‍ය වේ.

මෙයට ආරක්ෂිත නවාතැන්, වෛද්‍ය ප්‍රතිකාර සහ ඔවුන් මුහුණ දුන් තත්ත්වයන් හේතුවෙන් ඇති විය හැකි පසුකම්පන තත්ත්වයන්ට අදාළව මනෝ විද්‍යාත්මක මාර්ගෝපදේශන සැලසීම ආදී පුළුල් පරාසයක ප්‍රවේශයක් ඇතුළත් වන අතර, වඩාත් දරුණු ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එසේම නැවත ජාවාරම් වලට ගොදුරු වීම වැළැක්වීම සඳහා නීතිමය සහාය, ආර්ථික සවිබල ගැන්වීම සහ කුසලතා සංවර්ධනය ද අවශ්‍ය වේ.” යනුවෙන් ප්‍රකාශ කළාය.

මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලසුම එළිදක්වන ලද්දේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් සඳහා උපාය මාර්ගික මඟපෙන්වීම, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සඳහා වග කියනු ලබන ජාතික බහු – පාර්ශවීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණු කොට ගෙනය.

ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මෙසේ සඳහන් කළේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ පුළුල් දැක්මට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශය මිනිස් ජාවාරම හුදෙක් සමාජීය හෝ අපරාධමය ප්‍රශ්නයක් ලෙස පමණක් නොව, ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන විශාල ගැටලුවක් ලෙස ද හඳුනාගෙන ඇති බවත්, එය සමාජ ස්ථාවරත්වය දුර්වල කරන අතර සංවිධානාත්මක අපරාධ සඳහා ද පසුබිම සකස් කරන බවත්ය. එබැවින් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේදී විනය, වගවීම, අනුකූලතාවය සහ විනිවිදභාවයෙන් යුතුව මෙහෙයවන බව ද, ඔහු අවධාරණය කළේය.

සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) තාක්ෂණික සහය ඇතිව සකස් කරන ලද තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ 2026-2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම, නීති විරෝධී තැනැත්තන් වෙළඳාම වැළැක්වීමට, වින්දිතයින්ට අවශ්‍ය ආරක්ෂාව සහ සහාය ලබා දීමට, නීතිය බලාත්මක කිරීමේ ප්‍රතිචාර ශක්තිමත් කිරීමට සහ ඒ වෙනුවෙන් වග වීම ශක්තිමත් කිරීමට ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපිත කරයි. මෙම ක්‍රියාකාරී සැලසුම, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව සිදු කරන ලද පුළුල් උපදේශන මත පදනම් වී ඇත.

තවද, සයිබර් අවකාශය හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම සහ කෘතිම බුද්ධිය (AI) අවභාවිතා කරමින් සිදු කරන නීතිවිරෝධී බඳවා ගැනීම් වැනි නැගී එන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

එහිදී අදහස් දැක්වූ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මෙහෙයුම් ප්‍රධානී Kristin Parco මහත්මිය, දශකයකට වැඩි කාලයක් IOM ආයතනය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර, මෙම ක්‍රියාකාරී සැලසුම සැකසීමට සහ ජාතික පද්ධතීන් ශක්තිමත් කිරීමට සහාය වීමට ලැබීම ගෞරවයක් බවද ප්‍රකාශ කළාය.

ඒ අනුව නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම් ප්‍රධාන කුළුණු හතරක් වටා ව්‍යුහගත කර ඇත.

  • *ප්‍රජා දැනුවත් කිරීම් සහ අවදානම් අවම කිරීමේ පියවර හරහා වැළැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
  • *පුළුල් සහායක සේවාවන් ඇතුළුව වින්දිතයා කේන්ද්‍ර කරගත් ආරක්ෂාව සහ සහාය සැලසීමේ ක්‍රියාවලිය සිදු කිරීම.

*අන්තර් නියෝජිත ආයතන සම්බන්ධීකරණය සහ අනෙකුත් රටවල් සමඟ දේශ සීමා සහයෝගීතාවය පවත්වා ගනිමින් නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් සම්බන්ධයෙන් විමර්ශන සහ ඊට අදාළව නඩු පැවරීම් ශක්තිමත් කිරීම.

  • *සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ හවුල්කාරිත්වය ඇති කර ගනිමින් මීට අදාළ ප්‍රතිපත්ති, දත්ත සහ ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම.

මෙම සැලසුම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා IOM ආයතනය, ශ්‍රී ලංකා රජය සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සමඟ සමීපව කටයුතු කරනු ඇත.

රාජිතගේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය.!

රාජිතගේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය.!

රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරු අමතමින් සංශෝධිත අධිචෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේදැයි ප්‍රශ්න කළ අතර එහිදී විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බවයි.

අනතුරුව මෙම නඩුව විභාගය සඳහා අප්‍රේල් මස (29) වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

පසුගිය 2014 අගෝස්තු (01) වනදා සිට නොවැම්බර් (01) වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

නාමල්ගේ නඩුවට දින නියම කරයි.!

නාමල්ගේ නඩුවට දින නියම කරයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල අද (29) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවයි.

මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල යළිත් ජූලි (30) වනදා කැඳවීමට නියම කළ මෙහෙස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කළේය.

සමාගමක් පවත්වාගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අයතා ලෙස උපයාගත් මුදල් විශුධිකරණයට ලක්කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.

අවුරුදු 12ට අඩු ළමුන්ට දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සැරසෙයි.!

අවුරුදු 12ට අඩු ළමුන්ට දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සැරසෙයි.!

සමාජ මාධ්‍ය ප්‍රවේශය වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා අවධානය යොමුව ඇත.

මේ වනවිට ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

පැය 36ක් තුළ ලක්ෂ 166කට අධික ජනතා මුදල් විනාශ කළ රනිල් බැල්කනි පුටුවේ.!

පැය 36ක් තුළ ලක්ෂ 166කට අධික ජනතා මුදල් විනාශ කළ රනිල් බැල්කනි පුටුවේ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මෙම නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම් දීම සිදු කළේය.

අධිකරණය හමුවේ විමර්ශන ප්‍රගතිය දැනුම් දුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි මෙම අධිකරණයෙන් ලද නියෝග අනුව, පසුගිය නොවැම්බර් (13) වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමරේශන නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට පිටත් කළා මේ සම්බන්ධව විමර්ශන සිදු කරන්න.

ඒ ගැන ආරංචි වෙලා නීතිපතිතුමාව හම්බෙන්න ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න, රොනල්ඩ් පෙරේරා ඇතුළු ජනාධිපති නීතීඥවරු තුන්දෙනෙක් ආවා. ඒ ආවේ මේ නඩුව ගැන කතා කරන්න නෙමේ. කොටවලා ඒ වැඩේ අවුල් කරන්න.

කොහොමද එහෙම ගියේ.? ශානි අබේසේකර පොලීසිය එක්ක නීතීපතිවරයගෙන් අවසර අරන්ද විමර්ශනය ගියේ කියලා තමා ඒ මහත්වරු තුන්දෙනා හෙව්වේ.”

“ස්වාමීනී ලන්ඩන් හිටපු තානාපති සරෝජා සිරිසේන ඇතුළු ලන්ඩන් තානාධිපති කාර්යාලයේ සියලු දෙනාගෙන්ම මේ විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබා ගත්තා.

සරෝජා සිරිසේන මහත්මිය ඇයගේ ප්‍රකාශයෙන් කියනවා රනිල් වික‍්‍රමසිංහට එදා උත්සවයේ බැල්කනි එකේ පුටුවක් වෙන් කර තිබූ බවත්, ඔහු වේදිකාවට නැඟ කතාවක් හෝ කළ නොකල බව.

ඒ වගේම මෛත්‍රී වික‍්‍රමසිංහට පමණක් නෙමේ ඒ උපාධිය කීප දෙනෙක්ටම හිමි වූ බවත් දින කීපයක් උපාධි ප්‍රධානෝත්සව මාලාවක් පැවැති බවත් ඇය ප්‍රකාශ ලබා දෙමින් කියලා තියෙනවා.

ස්වාමීනී මේ පළමු සැකකරුට බැල්කනි එකේ පුටවක් වෙන් වෙලා තිබිලා තියෙන්නේ. මොහු ඒ උත්සවයේ නිල ආරාධිත අමුත්තෙකුත් නෙමේ.”

අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සඳහන් කළේ,

“සිදුකළ විමර්ශන තුළින් සුළු හෝ නිල කටයුත්තක් සඳහා මෙම සංචාරය කර තිබෙනවාද යන්න කරුණු අණාවරණය වීමක් තිබෙනවාද යන්න අධිකරණයට දැන ගත යුතුයි.”

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනී මෙම උපාධි උත්සවයේ රනිල් වික‍්‍රමසිංහ පිලිගන්න කිසිඳු රාජ්‍ය නායකයෙක් පැමිණ නෑ. 2023 සැප්තැම්බර් 22,23 පළමු සැකකරු ගිය මෙම සංචාරයට ඔහුගේ ලේකම් දෙවන සැකකාර සොමිසාර ඛණ්ඩාර ඒකනායක සහභාගී වෙන්නෙත් නෑ.

හැබැයි සැප්තැම්බර් 13 – 20 දක්වා කියුබාවේ සහ ඇමරිකාවේ පළමු සැකකරු සිදුකළ නිල සංචාරයට මේ දෙවන සැකකරු සහභාගී වෙනවා. දෙවන සැකකරු දැනගෙන ඉදලා ඇමරිකාවේ යන්නේ නිල සංචාරයකට නෙමේ කියලා.

ඒකයි ඔහු සැප්තැම්බර් 22,23 ඒ සංචාරයට සහභාගී නොවෙන්නේ. මේක නිල සංචාරයක් වුණා නම් මොවුන් එක්ක ගියා චින්තක ප්‍රසන්න ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඡයාරූප ශිල්පියා.

ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා සැප්තැම්බර් 22,23 රනිල් වික‍්‍රමසිංහ කළ සංචාරයේ ඡායාරූප නෑ කියලා. නිල සංචාරයක් නම් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ගිය ඡායාරූප ශිල්පියා ඡයාරූප නොගෙන ඉන්නවද.? මේක ඉතාමත් පැහැදිලියි ස්වාමීනී මේ සංචාරය නිළ සංචාරයක් නෙමේ.”

අගමැති හරිනිගෙන් දරුවන්ට පණිවුඩයක්.!

අගමැති හරිනිගෙන් දරුවන්ට පණිවුඩයක්.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියළු දරුවන්ට, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත් කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සුබ පැතුම් පණිවුඩය පහතින්..

“පාසල් යන මුල්ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් ලෙසින් සනිටුහන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ මල්ඵල ගන්වනු වස් සතුටින්, විනෝදයෙන් හා අර්ථවත් ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු.

ඔබ ඔසවාගෙන ආ යුතු පොත් බෑගයේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ, ඔබට ලබා ගැනීමට සලස් වන දැනුමේ හා ආකල්පවල මෙන් ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොර ව ඉතා පරිපූර්ණ ව හා ඉදිරි වැඩ ලෝකයට ගැළපෙන අයුරිනි.

දයාබර දෙමාපියනි, ඔබේ දරුවාට පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම අපේ අරමුණයි. කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් අපගේ විශ්වාසයයි.

ඒ අනුව සෑම දරුවෙකුට ම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම අප භාරගෙන තිබේ. අපගේ ඒ අවංක උත්සාහය මුදුන් පමුණුවා ගැනීමට සියලු දෙනාගේ ඵලදායි අදහස් – උදහස් ඉතා වැදගත් කොට සලකමු.

නම්‍යශීලි සුහද පිළිවෙතකින් එම සාධනීය මඟ පෙන්වීම හා අදහස භාරගෙන දුවන – පනින හැදෙන – වැඩෙන ඔබේ දු දරුවන්ගේ අත්දැකීම් වඩාත් ප්‍රායෝගික හා අරුත්බර කර ගනිමින් පන්ති කාමරයේ සතුටින් රඳවා ගැනීමේ වගකීම අප භාරගෙන තිබේ.

ආදරණීය දුවේ පුතේ, මව් ඇකයෙන් මිදී ගුරු දෙමාපියන් වෙත පා තබන ඔබගේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා’ යි මම ප්‍රාර්ථනා කරමි.”

රනිල්ගේ බොරුව හෙළිවෙයි.. මාර්තු මාසයේ නඩු.!

රනිල්ගේ බොරුව හෙළිවෙයි.. මාර්තු මාසයේ නඩු.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වූ සංචාරය පෞද්ගලික සංචාරයක් බවට මේ වනවිට අනාවරණය වී ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර එළඹෙන මාර්තු මාසයේදී නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) දැනුම් දුන්නේය.

අදාළ නඩුකරය අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටියේය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව අප්‍රේල් (29) වැනිදා යළි කැඳවීමට අධිකරණයෙන් නියෝග.

තමීන් රහුමාන්ට මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්.!

තමීන් රහුමාන්ට මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්.!

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීන් රහුමාන්ට රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුවේදී තමීන් රහුමාන්ට තරග පාවාදීම සම්බන්ධයෙන් ඇති චෝදනාව පිළිගෙන ඇති අතර ඔහුට වසර 4ක සිරදඬුවමක් නියම කර එම දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය තීරණය කර ඇත.