Local news

චාමර සම්පත්ට දින නියම වෙයි

චාමර සම්පත්ට දින නියම වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

පසුගිය 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාව සදහා රේඛනය කළ චෙක්පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

අනතුරුව එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අප්‍රේල් මස (30) වනදා කැඳවන ලෙසට නියම කළේය.

යාපනයට අලුත් වෙනසක්

යාපනයට අලුත් වෙනසක්

යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එම ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 5ක් ලැබී තිබේ.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s RR Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 984.73 ක මුදලකට (බදු රහිත) එම කොන්ත්‍රාත්තුව පිරිනැමිම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රජයේ නව මුද්‍රණාලාධිපති පත් කරයි

රජයේ නව මුද්‍රණාලාධිපති පත් කරයි

රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ මේ වනවිට සේවය කරනු ලබන එස්.ඩී. පාඩිකෝරාලගේ සේවා කාලය 2026-04-01 දිනෙන් අවසන් වීමට නියමිතය.

2013-06-26 දිනැති රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව අනුව මේ වනවිට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රජයේ මුද්‍රණාලයාධිපති ලෙස සේවය කරනු ලබන මුද්‍රණ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම සේවයේ 1 පන්තියේ II ශ්‍රේණියේ නිලධාරි ආර්.ඒ.පී.කේ. ජයරත්න 2026-04-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කාලීනව රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බලශක්ති ආර්ථිකය සංවර්ධනයට විශේෂඥ කමිටුවක්

බලශක්ති ආර්ථිකය සංවර්ධනයට විශේෂඥ කමිටුවක්

බලශක්ති ආර්ථිකය සංවර්ධනයට ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතීත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්‍රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත.

තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා 2026 වර්ෂයේ අයවැය මඟින් අවධාරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග සහ ප්‍රතිඵල ලබා දීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම පිණිස ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂඥ කමිටුවක් පත්කර ඇත.

ආචාර්ය හාන්ස් විජේසූරිය – සභාපති
දුමින්ද හුලංගමුව
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන 
ඩී.ජේ රාජකරුණා
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම් 
බලශක්ති අමාත්‍යාංශය ලේකම් 
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම්
කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ලේකම්

පළාත් සභා මැතිවරණයට බාධා.. නීතිපති සහ මැකෝ පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණයට බාධා.. නීතිපති සහ මැකෝ පාර්ලිමේන්තුවට

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් කැඳවා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධා පිළිබඳව විමසීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කරුණු සොයන පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා, නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පසුගිය (17) වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ සඳහා මීළඟ රැස්වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කර ඇත.

බලශක්ති අර්බුදය හමුවේ විභාග කල් යයි.?

බලශක්ති අර්බුදය හමුවේ විභාග කල් යයි.?

පවතින බලශක්ති අර්බුදය හමුවේ පාසල් විභාග ඇතුළු සියලු විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශයක් කරයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම විභාගවල කාලසටහන් මෙතෙක් සංශෝධනය කර නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

එනිසා මේ මොහොතේ සියලුම විභාග කල් දැමීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

සිමෙන්ති මිල ඉහළ⁣ට

සිමෙන්ති මිල ඉහළ⁣ට

සිමෙන්ති නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග සිමෙන්ති කොට්ටයක මිල ගණන් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් පියවර ගෙන ඇත.

ඒ අනුව එම සිමෙන්ති සමාගම් පෙන්වා දෙන්නේ රුපියල් 150ත් 175ත් අතර මිලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ ගොස් ඇති බවයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැලි, ගල්, යකඩ ඇතුළු සියලු භාණ්ඩවල මිල මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් සඳහන් කරයි.

ඉන්ධන සඳහා විශේෂ අවසර පත්‍රයක්

ඉන්ධන සඳහා විශේෂ අවසර පත්‍රයක්

මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හිමියන් විසින් ඉල්ලුම් කර ඇති ඉන්ධන ප්‍රමාණය ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

තම කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට මේ වනවිට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව එම කර්මාන්ත හිමියන් සඳහන් කරයි.

කර්මාන්තකරුවන් 2300 දෙනෙකු පමණ මේ වනවිට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වැඩිකර දෙන ලෙසට කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත.

කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මේ වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට යොමු කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලින්ටන් ද සිල්වාට ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ලින්ටන් ද සිල්වාට ස්ථාන මාරුවක්

බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මෙසේ ස්ථාන මාරු කර යවා ඇත්තේ පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙතයි.

ටෙක්සාස් තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

ටෙක්සාස් තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇත.