Local news

T-56 මැගසින් සහ උණ්ඩ තොගයක් සමග විශ්‍රාමික කපිතාන්වරයා අත්අඩංගුවට.!

T-56 මැගසින් සහ උණ්ඩ තොගයක් සමග විශ්‍රාමික කපිතාන්වරයා අත්අඩංගුවට.!

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (16) අත්අඩංගුවට ගෙන ඇත.

T-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් ළඟ තබාගෙන සිටියදී විශ්‍රාමික කපිතාන්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම සඳහා වු මෙහෙයුම් කමිටුව රැස්වෙයි.!

පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම සඳහා වු මෙහෙයුම් කමිටුව රැස්වෙයි.!

දිවයිනට බලපෑ “දිත්වා” සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාපිත ‘Rebuilding Sri Lanka’ විස්තීර්ණ ජාතික වැඩසටහන, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.

Rebuilding Sri Lanka වැඩසටහන සඳහා විවිධ ක්‍රමවේද ඔස්සේ උපාය මාර්ගික වශයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව, ලාභ ලැබිය හැකි පරිදි දැනට පවතින ව්‍යාපෘති ප්‍රතිනිර්මාණය කිරීම.

මුල්‍ය ප්‍රතිපාදන උපායමාර්ගිකව නැවත වෙන් කිරීම සහ ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ හා සංවිධාන වල සහාය ලබා ගැනීම මෙයට ඇතුළත් වේ. මෙහිදී ගනු ලැබූ සුවිශේෂී මූල්‍ය පියවරක් ලෙස ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුවක් සැළසුම් කිරීම හඳුනාගත හැකිය.

වැඩසටහන වඩාත් විනිවිද භාවයකින් යුතුව සහ ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, ගරු අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.

ඒ අනුව, ආපදාවට ලක් වූ ජනතාව කේන්ද්‍ර කොට ගනිමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම්, නිවාස සහ ජීවනෝපාය නගා සිටුවීම ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට විශේෂයෙන් කැප වූ අනුකමිටු අටක් හරහා මෙම කාර්‌ය සාධක බලකාය සමස්තවැඩසටහන අධීක්ෂණය කරනු ලබයි.

මෙම ජාතික වැඩසටහනට සමගාමීව, ක්‍රියාත්මක අනුකමිටු අතුරින් එක් ප්‍රධාන අනුකමිටුවක සභාපතීත්වය, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම (Post Disaster Needs Assessment – PDNA) සඳහා වූ මෙම අනු කමිටුවේ, මෙහෙයුම් සඳහා ආරම්භයක් ලෙස එහි කමිටු රැස්වීම පසුගිය (14) දින ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

මෙම PDNA මෙහෙයුම් කමිටුව මගින් පශ්චාත් ආපදා අවශ්‍යතා සඳහා උපායමාර්ගික මාර්ගෝපදේශ ලබා දෙන අතර එමගින් රට තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති ක්‍රියාවලින් ජාතික ප්‍රමුඛතා සමඟ අනුකූල වන බව සහතික කරයි.

ප්‍රධාන රාජ්‍ය ආයතන සහ සංවර්ධන ක්‍රියාවලියෙහි පාර්ශව කරුවන්ගෙන් සමන්විත මෙම මෙහෙයුම් කමිටුව, පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් ක්‍රියාවලිය සඳහා ශක්තිමත් රාමුවක් සැකසීම, එම ඇගයීම් ක්‍රියාවලියේ පාලන ව්‍යුහය සහ ඵලදායි සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ජා කළහ.

ඒ අතුරින් පහත දැක්වෙන වැදගත් අංග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිදු වූ හානිය, ආර්ථික වශයෙන් සිදු වූ අලාභය සහ ප්‍රතිසාධන අවශ්‍යතා පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු සහිත සවිස්තරාත්මක පශ්චාත් ආපදා අවශ්‍යතා වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් නිශ්චිත කාල රාමුවක් සකස් කිරීම සඳහා කමිටුවේ එකඟතාවය හිමි විය.

*නිවාස සහ ජනාකීර්ණ ප්‍රදේශ

*සෞඛ්‍යය සහ පෝෂණය

*කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත සහ වාණිජ කටයුතු

*වාරිමාර්ග, ප්‍රවාහන, ජලය සහ සනීපාරක්ෂාව, විදුලිය

*පරිසරය, රැකියා / ජීවනෝපාය සහ ආපදා අවදානම් අවම කිරීම

*පරිපාලනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමාජීය අන්තර්ගතයන්

තවද, අන්තර් – අමාත්‍යාංශ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය, දැනුවත් භාවය අවම වීම සහ නිවැරදි දත්ත ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් ආදි පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් ක්‍රියාවලියේ පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහාය දක්වන සියලු පාර්ශ්වකරුවන්ගේ ඉමහත් කැපවීම සම්බන්ධයෙන් සිය අවංක කෘතඥතාව පළ කළ අතර, එහිදී ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ පුර්ණ සහයෝගය ලබා දෙන බවට ද සහතික විය.

තවද, කඩිනම් මෙන්ම, කල්පවතින ප්‍රතිසාධනයක් සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක ඇති වැදගත්කම පිළිබඳව ඔහු අවධාරණය කළේය.

මහින්දගේ ආරක්ෂක නෙවිල්ට දින නියම වෙයි.!

මහින්දගේ ආරක්ෂක නෙවිල්ට දින නියම වෙයි.!

අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චිට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල එළඹෙන ජුනි මස (09) වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) දින නියම කළේය.

රුපියල් මිලියන 28කට අධික වත්කම් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවත් එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

අනතුරුව පැමිණිල්ල ජුනි මස (09) වනදා කැඳවීමට නියම කළ අධිකරණය, එදින මෙම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේය

මධ්‍යසාර දිනකට මිනිස්සූ 50ක් මරා දමනවා.!

මධ්‍යසාර දිනකට මිනිස්සූ 50ක් මරා දමනවා.!

ලංකාවේ දිනකට මධ්‍යසාර භාවිතය නිසා පුද්ගලයින් 50 දෙනෙකු මියයන බව ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් සඳහන් කරයි.

දිනකට මියයන පුද්ගලයින් නීති විරෝධී සහ නීත්‍යානුකූල මධ්‍යසාර දෙකෙහිම එකතුවක් වන බවද ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් සඳහන් කරයි.

සමස්ත ජනගහනයෙන් 20%කට අඩු ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවද සඳහන් කරයි.

විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් සඳහන් කළේ,

“අපේ රටේ මධ්‍යසාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත් තාමත් 20%කට අඩු ප්‍රමාණයක් තමයි සමස්ත ජනගහනයෙන් මධ්‍යසාර භාවිත කරන්නේ. එකෙන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනය ගත්තොත් 34.8%ක් මධ්‍යසාර භාවිත කරනවා.

කාන්තාවන් තාමත් ඉතාම හොඳ තැනක තියෙන්නේ 0‍.5%යි. විශේෂයෙන් මේ කාලයේදී මතුවෙච්ච කාරණයක් තමයි නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ඉතාම ඉහළ ගිහිල්ලා කියන කාරණය.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 10%ක ප්‍රමාණයක් තමයි නීති විරෝධී මධ්‍යසාර භාවිත කරන්නේ. අපි දැක්කා නීතිවිරෝධී මධ්‍යසාර භාවිත කරලා 5-6ක් මිය යනවා.

හැබැයි අද දවසේ මිනිස්සු 50ක් මධ්‍යසාර මිනිස්සු මරලා දානවා. ඒක නීත්‍යානුකූල, නීති විරෝධී දෙකම එකතු වෙලා. මිනිස්සු 50 දෙනෙක් මරලා දානවා හැබැයි අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

‘දිට්වා’ කඳුකර වනාන්තර වලින් 34%කට හානි කරයි.!

‘දිට්වා’ කඳුකර වනාන්තර වලින් 34%කට හානි කරයි.!

“දිට්වා සුළි කුණාටුව” සමග ඇතිවු තද වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34%ක් හානියට පත්ව ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

“දිට්වා සුළි කුණාටුව” මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් මේ බව අණාවරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කරයි.

ආපාදා වලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධති වලට හානි වී ඇති බවත් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳව අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ ආසාවට අතින් අතට යන නොබෙල් සාම ත්‍යාගය.!

ට්‍රම්ප්ගේ ආසාවට අතින් අතට යන නොබෙල් සාම ත්‍යාගය.!

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවකදී විපක්ෂ නායිකාව සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත.

වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඔහුගේ කැපවීම අගය කිරීමක් ලෙස සිය සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බව විපක්ෂ නායිකා මරියා මචාඩෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.

පැයකට වඩා කාලයක් පැවති මෙම හමුව අමෙරිකානු ජනාධිපතිවරයා සහ වෙනිසියුලානු විපක්ෂ නායිකාව අතර පැවැත්වූ පළමු හමුව වන අතර අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු ඇය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙඅංශයේම සෙනෙට් සභිකයින්ද හමුව ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ හමුවූ බවත් ඇය බොහෝ දේ අත්විඳ ඇති කාන්තාවක් වන බවත්ය.

තවද ඇය සිය නොබෙල් සාම ත්‍යාගය තමන්ට ප්‍රධානය කළ බවත් තමන් ඒ සම්බන්ධව ඇයට සිය ස්තූතිය පළ කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මේ අතර නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි බවත් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවද නෝර්විජියානු නොබෙල් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අද සිට මිල අඩු කරයි.!

අද සිට මිල අඩු කරයි.!

අද (16) දිනයේ සිට ආනයනික කිරිපිටි මිල ගණන් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්, කිලෝග්‍රෑමයක මිල රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇත.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළ යාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක.!

IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන (22) වැනිදා සිට (28) වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස මෙරට සංචාරය කරනු ඇති බව අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.!

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.!

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 65 වැනි වියේ පසුවිය.

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර විසින් මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කඳුලැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද, ඇතුළු ගීත රැසක් ගායනා කර ඇත.

නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි.!

නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි.!

එංගලන්තයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වන 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ලගේගේ ඝාතන සිද්ධිය සම්බන්ධව තිසර වේරගලගේ නම් ශ්‍රී ලාංකිකයා වරද පිළිගෙන ඇත.

2025 වසරේ අගෝස්තු (21) වනදා එංගලන්තයේ වේල්සයේ කාඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ නවතා තිබූ රථ වාහන දෙකක් මධ්‍යයේ තිබී බරපතළ කැපුම් තුවාල සහිතව නිරෝධාගේ සිරුර සොයාගෙන ඇත.

එම අවස්ථාවේදී ඇයගේ සිරුර හමු වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක සිටි තිසර වේරගලගේ එරට පොලීසි විසින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු කලකට පෙර නිරෝධාට හිතවත්ව සිටි ඇය හඳුනන පුද්ගලයෙකු නමුත් ඒ වන විට වේල්ස් අගනුවරම වෙනත් තැනක ඔහු පදිංචිව සිට ඇත.

මෙම සැකකරු පසුගිය (12) වනදා නැවතත් නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරු නිරෝධාගේ ඝාතනයේ වරද පිළිගෙන ඇත.

ඒ අනුව 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ලගේ ඝාතනයට ඔහුට හිමි දඬුවම එළැඹෙන පෙබරවාරි මස (20) වනදාට තීන්දු කිරීමට එරට අධිකරණය නියම කර ඇත.