Local news

මින් ඉදිරියට හුරතල් නෑ.. සියලුම දෙනාට අනිවාර්යයි

මින් ඉදිරියට හුරතල් නෑ.. සියලුම දෙනාට අනිවාර්යයි

අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා සැප්තැම්බර් (19) වැනිදා සිට ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසන පටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මේ බව සඳහන් කරයි.

ඒ අනුව ආසන පටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවත් අධිවේගී බස් රථවල ආසන පටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

සියලුම දෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර ආසන පටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

ආසන පටි නොමැති වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස (19) වන දිනෙන් අවසන් වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

කථානායකවරයාගේ නිවේදනය

කථානායකවරයාගේ නිවේදනය

කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (19) දින පාර්ලිමේන්තුවට නිවේදනයක් නිකුත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පටන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කෝටි ගණනක මැණික් සොරකම.. පොහොට්ටුවේ ක්‍රියාකාරිනියක් අත්අඩංගුවට

කෝටි ගණනක මැණික් සොරකම.. පොහොට්ටුවේ ක්‍රියාකාරිනියක් අත්අඩංගුවට

මැණික් ගලක් සොරකම් කළ කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලන ක්‍රියාකාරිනියක ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලන ක්‍රියාකාරිනියක ඇතුළු සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක (18) දින නියෝග කර ඇත.

කෝටි හතරක පමණ වටිනාකමකින් යුත් එම මැණික් ගල සම්බන්ධව කරන විමර්ශනවලට අදාළව සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු අධිකරණයට ප්‍රකාශ කර ඇත.

රක්ෂිතයේ LTTE කඳවුරක් – තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයා මාට්ටු

රක්ෂිතයේ LTTE කඳවුරක් – තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයා මාට්ටු

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ LTTE පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එම සැකකරු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

මේ අතර පලෙයි රක්ෂිතයේ LTTE පුහුණු කඳවුරක් ගැන ඇස් උඩ යන ප්‍රබල හෙළිදරව්වක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය තොරතුරක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

අදාළ ප්‍රදේශයේ කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් නොමැති අතර සිදුව ඇත්තේ අදාළ රක්ෂිතයට අයත් ඉඩමක කොටසක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් එළිපෙහෙළි කර ගොඩනැගිල්ලක් ඉදිකිරීම බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේය.

රනිල්ගේ සංචාරය ගැන බ්‍රිතාන්‍ය රජයෙන් තහවුරුවක්.. නඩුවට මොකද වෙන්නේ.?

රනිල්ගේ සංචාරය ගැන බ්‍රිතාන්‍ය රජයෙන් තහවුරුවක්.. නඩුවට මොකද වෙන්නේ.?

ජනාධිපති ධුරය දැරූ සමයේ රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් එක්සත් රාජධානියේ සිදුකළ බව කියන පුද්ගලික සංචාරයේ විමර්ශනයට අදාළව තීරණාත්මක කරුණු තවදුරටත් අනාවරණය වෙමින් ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරමින් සිටියදී පසුගිය 2023 වසරේ සැප්තැම්බර් (22) සහ (23) යන දින දෙකේ එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත සිදුකළ එකක් නොවන බව නැවතත් තහවුරු වී ඇත.

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන දෙපාර්තමේන්තුව එම වකවානුව තුළ එරට නිල සංචාර වල නිරත රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ඒ බව නැවතත් තහවුරු වී ඇත.

රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් නිරතවූ පෞද්ගලික සංචාරයක් ලෙස විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ සහ එවක ඔහුගේ ලේකම් සමන් ඒකනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේය.

ගවර්මන්ට්.යුකේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති දත්තවලට අනුව 2023 මෙම කාලසීමාවේ රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ සංචාරය කළ බවට කිසිඳු සඳහනක් දක්නට නොමැත.

සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මේ සම්බන්ධ සියලු තොරතුරු (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

පසුගිය අප්‍රේල් (29) වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීම තුළින් එම විමර්ශන වටිනාකම අඩුවී යන බැවින් කඩිනමින් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ලක්ෂ 166ක් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මේ වනවිට ඇප මත සිටියි.

පැමිණිල්ල යළි සැප්තැම්බර් මස (30) වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට නියමිතය.

ADB වෙතින් ඩොලර් මිලියන 200ක මුල්‍ය සහාය

ADB වෙතින් ඩොලර් මිලියන 200ක මුල්‍ය සහාය

ශ්‍රී ලංකා රජය විසින් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උපවැඩසටහන් 1 ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබා ගැනීම සඳහා වූ ණය ගිවිසුම් සඳහා අත්සන් තබා ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආසියනු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් අතර මෙම ණය ගිවිසුම සඳහා (18) දින කොළඹ මහා භාණ්ඩාගාරයේදී මෙම අත්සන් තැබීම සිදුව ඇත.

මෙම ආයෝජන සහ කර්මාන්ත වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක ප්‍රතිපත්ති පාදක ණය පහසුකමක් ලබා ගැනීම අරමුණු කරගනිමින් රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වා තිබුණේය.

මේ රටේ මහා පරිමාණ අපරාධ වලට රනිල් සහමුලින්ම වගකියන්න ඕන

මේ රටේ මහා පරිමාණ අපරාධ වලට රනිල් සහමුලින්ම වගකියන්න ඕන

රනිල් වික්‍රමසිංහ යනු ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කරමින් රටේ මහා පරිමාණ අපරාධයන්ට සහමුලින්ම වගකියන්න ඕන පුද්ගලයෙක් බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

මේ රටේ වරප්‍රසාද සහිත ජීවිතයක් උරුමයක් ලෙස කරගෙන හිටපු කට්ටියට ආණ්ඩුව අසාධාරණයක් කරන බවට හිතුවත් බොරුවට උඩ සිටින කට්ටිය මහපොලවට ගේන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ,

“රට ප්‍රජාතන්ත්‍රවාදී කරනකොට සමහර අර වරප්‍රසාද කියන ඒවා නැචුරල් රයිට්ස් විදිහට පිළිඅරගෙන හිටපු කට්ටිය, වරප්‍රසාද සහිත ජීවිතයක් උරුමයක් ලෙස කරගෙන හිටපු කට්ටිය හිතනවා අපි අසාධාරණයක් කරනවා කියලා.

අපි කිසිම අසාධාරණයක් කරන්නේ නෑ. අපි ඒ බොරුවට උඩ ඉන්න කට්ටිය මහපොලවට ගේනවා. ඒකයි මේ වෙන්නේ. ඒක තමයි උහුලගන්න බැරුව ඉන්නේ. රනිල් කවුද.? මේ රටේ මහා පරිමාණ අපරාධයන්ට සහමුලින්ම වගකියන්න ඕන පුද්ගලයෙක්.

ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කරන්න කොයිතරම් වගකියන්න ඕන පුද්ගලයෙක්ද රනිල් වික්‍රමසිංහ කියන්නේ. දැන් එයාව අත්අඩංගුවට ගත්තාම රොබිකෝන්. අන්න ඒ කට්ටිය තමයි අද කියන්නේ මේ සංශෝධනයෙන් අධිකරණයට විශාල හානියක් වෙනවා කියලා.

මම ඒ නීතිවේදීන්ගේ උගත්කමට ගරු කරනවා. නමුත් ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය අපි ප්‍රශ්න කරන්නේ. අපිට එහෙම විශේෂ එකක් නෑ. මිනිස්සූ ගරු කරන අයට ගරු කරාට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපෙන් බලාපොරොත්තු වෙන්න එපා අනවශ්‍ය වරප්‍රසාද.”

බැසිල්ගේ මුදල් රාජසන්තකයි.. අධිකරණයෙන් වරෙන්තු

බැසිල්ගේ මුදල් රාජසන්තකයි.. අධිකරණයෙන් වරෙන්තු

මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක (18) දින නියෝග කළේය.

තවද ඔහුගේ ඇපකරුවන්ගේ ඇප මුදල් අය කර ගැනීමටත්, එම ඇපකරුවන් ඇප මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ට එම මුදල් ගෙවීම දඩයක් ලෙස සලකන බවත් එම දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06ක සිර දඩුවම් නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප තුනට අත්සන් කර සිටි ඇපකරුවන් තිදෙනා අදාල ලක්ෂ 10 බැගින් වු ලක්ෂ 30ක මුදල (18) දිනම අධිකරණය වෙත ගෙවා අවසන් කළේය.

සැකකාර බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කර තිබු විවෘත වරෙන්තුව ලබන ඔක්තොම්බර් (27) වැනි දින දක්වා දීර්ඝ කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉරානයෙන් අමෙරිකාවට රතු එළියක්

ඉරානයෙන් අමෙරිකාවට රතු එළියක්

අන්තර්කාලීන අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අමෙරිකාව විසින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සඳහන් කරයි.

නාවික අවහිරතා සහ සම්බාධක ඉවත් කිරීම, ඉරානයේ ශීත කළ වත්කම් නිදහස් කිරීම, තෙල් සම්බාධක ඉවත් කිරීම මෙන්ම සියලු පෙරමුණුවල තර්ජන සහ හමුදා මෙහෙයුම් අවසන් කිරීම ඇතුළු කොන්දේසි ඉටු කළ යුතු බවද ඉරාන කථානායකවරයා සඳහන් කරයි.

ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධව ඉරානය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් යුද ගැටුම් නැවත ඇතිවීමට ඉඩකඩ ඇති බව වර්තා වේ.

රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටික වෙනුවෙන් සජිත් ප්‍රේමදාස පෙනී සිටිනවා

රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටික වෙනුවෙන් සජිත් ප්‍රේමදාස පෙනී සිටිනවා

රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටිකක් දැන් හිරේට යමින් සිටින අධිකරණ ක්‍රියාවලියේ ඉන්න බවත් එයට විරුද්ධව සජිත් ප්‍රේමදාස පෙනී සිටින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අද ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලන්ට විපක්ෂය කරන්න තේරෙන්නේ නෑ. මම කියන්නේ ඇත්තටම කල්පනා කරලා බැලුවොත්, සමහර සටන් තියනවා ඒ සටන් ඒ වෙලාවේ කරන්න හොද නෑ.

ඒ සටන් කරන්න හදන එකම, මුළු වැඩේම චොර වෙනවා. තේරෙන වචනෙන් කියනවා නම්. දැන් කිසිම පිළිවෙළක් නෑ. ආත බූත. ඔහේ දගලනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරන පරීක්ෂකයන්ට ගහනවා.

ගහලා පස්ස බැලුවට පස්සේ තමයි හිතෙන්නේ ආ මොන අවුලක්ද කර ගත්තේ කියලා. ඉතින් මෙතනත් ඒකයි තියෙන්නේ. දැන් රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටිකක් ඉන්නවා මෙතන. ඒ හොරු දැන් හිරේට යමින් ඉන්නේ.

අධිකරණ ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට දැන් ඒකට විරුද්ධව සජිත් ප්‍රේමදාස පෙනී ඉන්නවා. දැන් හොරුත් එක්ක ලගිනවා. එතුමා එහෙම නෙමෙයි කියලනේ කියන්නේ. ඉතිං ඒනිසා කිසීම අර ඉව වැදිච්ච සත්තු වගේ.”