Local news

ඉරාන විදේශ ඇමති පාකිස්තානයට

ඉරාන විදේශ ඇමති පාකිස්තානයට

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (24) දින රාත්‍රියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ ඇත.

අමෙරිකාව සමග සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර අමෙරිකාවේ ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කරගත් යෝජනාවක් ඉරානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ආරක්ෂක ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත හමුවෙයි

ආරක්ෂක ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත හමුවෙයි

නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදු කළ නිල සංචාරය අතරතුර, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අතිගරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතිගරු Michael G.Waltz මහතා සමඟ (23) දින සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක සහ සාමය ගොඩනැගීමේ මෙහෙයුම් සඳහා පවතින සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක කල්ලි මර්දන බලකාය’ (Gang Suppression Force – GSF) සඳහා ශ්‍රී ලංකාවේ අනාගතදායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම තානාපති Waltz මහතාගේ ඇගයීමට ලක් වූ අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ද ඔහු යළිත් තහවුරු කළේය.

Multi-Role Logistics, Maritime Small Boat සහ Maritime Task Force වැනි විශේෂ ඒකක ඇතුළුව අතිරේක ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් යෙදවීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදී. බලකා මූලස්ථාන විධිවිධාන, ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් සහ අණ හා මාණ්ඩලික (Command & Staff) තනතුරු සඳහා ශ්‍රී ලංකා නිලධාරීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

වැරදි තොරතුරු ප්‍රචාරණය මැඩපැවැත්වීම, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම මෙන්ම සේවයේ යොදවන පිරිස් සඳහා වන පරීක්ෂණ සහ පුහුණු ක්‍රියාවලින් ශක්තිමත් කිරීම පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු විය.

සියලුම විදේශීය මෙහෙයුම් වලදී ඉහළම මට්ටමේ විනයක් සහ වෘත්තීය මට්ටමක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

ප්‍රදේශ රැසකට අද සවස තද වැසි

ප්‍රදේශ රැසකට අද සවස තද වැසි

අද (25) ප.ව. 2.00න් පසුව දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ශුද්ධාසන අපෝස්තලික තානාපති හිමිපාණන් බුද්ධශාසන ඇමති හමුවෙයි

ශුද්ධාසන අපෝස්තලික තානාපති හිමිපාණන් බුද්ධශාසන ඇමති හමුවෙයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ශ්‍රී ලංකාවේ ශුද්ධාසන අපෝස්තලික තානාපති H.E. Monsignor Andrzej Jozwowicz අති උතුම් හිමිපාණන් අතර නිල හමුවක් (24) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකාව හා වතිකානු රාජ්‍යය අතර පවතින දිගුකාලීන ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, අන්තර් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

දෙරටටම වැදගත් වන සංස්කෘතික උරුමයන් සංරක්ෂණය හා ප්‍රවර්ධනය සඳහා අනාගතයේදී ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තමන්ට වැළඳුණු පිළිකාවක් ගැන ඊශ්‍රායල් අගමැති හෙළිකරයි

තමන්ට වැළඳුණු පිළිකාවක් ගැන ඊශ්‍රායල් අගමැති හෙළිකරයි

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තමන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී තිබූ බවට හෙළිකර ඇත.

තමන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ තිබූ ගැටිත්තක් හඳුනා ගත් බවත් එය හඳුනා ගැනීමෙන් පසුව පිළිකාවට ප්‍රතිකාර ගත් බවද ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සඳහන් කරයි.

පිළිකාවට ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව මේ වනවිට තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවද ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සඳහන් කරයි.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු මේ බව සඳහන් කරයි.

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව යනු ලෝකය පුරා සිටින පුරුෂයින්ට බලපාන සෞඛ්‍ය ගැටලුවකි. 

රනිල් අසනීප මොහොතේ CIDය ගෙදරට යාම හෙලා දකිනවා

රනිල් අසනීප මොහොතේ CIDය ගෙදරට යාම හෙලා දකිනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෘද සැත්කමකට ලක්ව සිටින මොහොතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එතුමාගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගැනීම හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ රෝගී වී සිටින මොහොතක පිටස්තරයන් එම නිවසට යාම ඔවුන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලන බවද සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සභාපති වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළිවෙයි

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළිවෙයි

විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික ලෙස අත්පත්කරගෙන ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණ වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ සඳහන් කළේ,

“මූලික පරීක්ෂණවලින් අඳුරගන්න පුළුවන් මේ Business Email Compromise (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසර ප්‍රවේශයක් ලබාගෙන හෝ අනෙක් පාර්ශ්වය විදිහට බොහෝ වෙලාවට පෙනී සිටිමින් සිදුකරන වංචාවක් විදිහට.

මෙහිදී බොහෝ වෙලාවට විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනීසිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කොට අදාළ මුදල් ලබාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවෙන්නේ. තෙවන පාර්ශ්වයක් කාලයක් ඉඳලා මේ ගනුදෙනුව විමර්ශනය කරමින්, බොහෝ වෙලාවට නිසි වේලාවේදී වෙනත් ගිණුමකට අදාළ විස්තරයක් එවලා තමයි මුදල් ලබාගෙන තියෙන්නේ.

ඉතින් එහිදී බොහෝවෙලාවට අදාළ පාර්ශ්වයට හා සමාන වෙබ් අඩවි පාවිච්චි කරමින්, වෙබ් ලිපි පාවිච්චි කරමිනුයි සූක්ෂ්මව මෙවැනි e – mail පණිවිඩයක් එවලා තියෙන්නේ. බොහෝමයක් මේ BEC මිනිසුන්ගේ තිබෙන සාමාන්‍ය දුර්වලකමක් පාවිච්චි කරමින් තමයි සිදුවෙන්නේ. ඒක නිසා තමයි එවැනි දේවල් හඳුනාගැනීමටත් ඉතා අපහසු වෙන්නේ. මේ සම්බන්ධයෙන් තිබෙන දැනුම්වත්භාවය තමයි ඉතා වැදගත්.

මේක මොන රටක, මොන ගිණුම් හරහා ගිහිල්ලා තිබෙනවද.? ඒත් එක්කම වෙන රටකනම් මේ මුදල් හුවමාරුවෙලා තිබෙන්නේ ජාත්‍යන්තර පොලිසියේ සහායත් ලබාගන්න පුළුවන් වෙයි. මෙවැනි මුදල් විවිධ ක්‍රම ඔස්සේ ඇතැම්විට මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධවෙන්න පුළුවන් එවැනි Cryptocurrency වැනි දේවල් පවා අදාළ වෙන්න පුළුවන්.

හැබැයි මේ කුමන කාරණයකදී වුණත් අදාළ විශේෂඥ සේවා ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් විට මෙවැනි ඩිජිටල් මාදිලියේ Virtual Assets වලට මේවා යනවනම් ඒ සේවා සපයන ආයතනවලත් සහාය ලබාගන්න පුළුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා. ඒ සියල්ලම තාක්ෂණික අභියෝගත් එක්ක තමයි තියෙන්නේ.”

රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් රුපියල් මිලියන 111ක් මහා භාණ්ඩාගාරයට

රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් රුපියල් මිලියන 111ක් මහා භාණ්ඩාගාරයට

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ප්‍රමුඛ පෙළේ ව්‍යවසායයක් වන සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම (RALL), 2024/2025 මූල්‍ය වර්ෂය වෙනුවෙන් උපයන ලද ලාභයෙන් රුපියල් 111,110,014.00 ක ලාභාංශ මුදලක් (23) මහා භාණ්ඩාගාරය වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

මෙයට අදාළ ලාභාංශ වෙක්පත, සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජුඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර වෙත නිල වශයෙන් භාර දෙන ලදි.

අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම චෙක්පත රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දනීෂා ජයදේව මහත්මිය වෙත නිල වශයෙන් පිරිනමන ලදි.

සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් ලාභාංශ මුදලක් පුර්ණ වශයෙන් රජය වෙත පිරිනැමීමට හැකි වීම ඵෙතිහාසික සන්ධිස්ථානයක් වන අතර, පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාගමේ ශුද්ධ ලාභය 74% ක අගයකින් ඉහළ යාම මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

2006 වර්ෂයේදී ආරම්භ කරන ලද රක්නා ආරක්ෂක ලංකා සමාගම, වර්තමානය වන විට 3,750 කට අධික මනා පුහුණුවක් ලත් වෘත්තීය කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ආයතන 600 කට අධික සංඛ්‍යාවකට සිය ආරක්ෂක සේවාවන් සපයන මෙම සමාගම, ශ්‍රී ලංකාව තුළ සමුද්‍ර ආරක්ෂක සේවාවන් (Maritime Security) සපයන එකම රජය සතු ආයතනය ලෙස ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනාගෙන ඇත.

ආරක්ෂක සේවාවන්ට පමණක් සීමා නොවී, රාජ්‍ය හා පෞද්ගලික ආයතන 100 කට අධික ප්‍රමාණයකට විශේෂ නිපුණතා සේවාවන් සපයන අතරම, කොළඹ නාගරික පරිසරය තුළ ජනතාවට සහන මිලට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමේ ප්‍රශංසනීය සුභසාධක ව්‍යාපෘතියක ද සමාගම නිරතව සිටියි.

සමාගම සතු ‘විශේෂ නිපුණතා සේවා ඒකකය’ හරහා පවත්වාගෙන යනු ලබන පිරිසිදු කිරීමේ සේවා සහ විශේෂ ආරක්‍ෂක සේවාවන් කෙරෙහි පාරිභෝගිකයින් තැබූ ඉහළ විශ්වාසය මෙම මූල්‍ය ප්‍රගතියට සෘජුවම දායක වී ඇත.

එමෙන්ම, මෙරට පෞද්ගලික ආරක්ෂක ක්ෂේත්‍රය තුළ පවතින එකම පුහුණු පාසල වන නැදුන්ගොල්ල පුහුණු පාසල’ (CIMSTA) මගින් සිය නිලධාරීන්ගේ වෘත්තීය ගුණාත්මක භාවය අඛණ්ඩව සුරක්ෂිත කරනු ලබයි. මෙම පුහුණු මධ්‍යස්ථානය සිය ආයතනික අවශ්‍යතා ඉක්මවා යමින් පාසල්, විශ්ව විද්‍යාල සහ සෙසු රාජ්‍ය ආයතන වෙත ද සහන මිලට පුහුණු වැඩසටහන් පවත්වමින් ඉටු කරන සමාජීය වගකීම ද අතිශය වැදගත් වේ.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), රජය සතු ව්‍යවසායයක් ලෙස ලාභ ලබමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මහා භාණ්ඩාගාරය වෙතලබාදෙන මෙම සුවිශේෂී දායකත්වය බෙහෙවින් අගය කළේය. සමාගමේ සම්පත් මනා කළමනාකාරීත්වයකින් යුතුව මෙහෙයවීම සහ සමස්ත කාර්ය මණ්ඩලය දැක් වූ කැපවීම මෙම මූල්‍ය ජයග්‍රහණයේ රහස බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැඩි තරඟකාරී වෙළඳ පොළක් තුළ සිය සේවාවන් විවිධාංගීකරණය කරමින් රක්නා ආරක්ෂක ලංකා සමාගම අත්කරගෙන ඇති මෙම දියුණුව සෙසු රාජ්‍ය ආයතන වලට ද, මහඟු ආදර්ශයක් බව එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

දුම්රිය මාර්ගයේ අලුත්ම තත්ත්වය

දුම්රිය මාර්ගයේ අලුත්ම තත්ත්වය

අද (24) දින පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කරයි.

දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව බවද එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කරයි.

මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවද සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කළේ,

“අලාභ හානි වෙච්ච දුම්රිය අපිට ලොකු පාඩුවක්. මොකද දුම්රිය බල ඇණිය අපේ අඩුයි. ඒ අලාභය අපිට තියනවා. ඒකත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වෙනුවෙන් අපිට දුම්රියක් යොදන්න වෙනවා. ඒ සඳහා සාකච්ඡාවන් මේ වන විට සිදුවෙමින් පවතිනවා.”

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් නව කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් පූජිතගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් පූජිතගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ  විත්ති කූඩුවේ සිට තමන් සිදුකළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) දින ප්‍රතික්ෂේප කළේය. 

ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත.

මෙම නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් වශයෙන් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියේය.