Local news

අයියා ඇතුලේ ඉද්දි මල්ලී ඉල්ලා අස්කර ගනී

අයියා ඇතුලේ ඉද්දි මල්ලී ඉල්ලා අස්කර ගනී

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබුණේය.

ඒ අනුව තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ගොනුකර තිබූ අභියාචනා පෙත්සම අද (07) දින ඉල්ලා අස්කරගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් එහිදී මෙම කරුණ මතු කිරීමේ අයිතිය රඳවා ගනිමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝව අද කඩවතදී මෙහෙයුම් අරඹයි

දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝව අද කඩවතදී මෙහෙයුම් අරඹයි

මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කල මෙට්‍රො නව බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එම පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉදිකරන ලද කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් අද (07) දින ආරම්භ කිරීම සිදුකෙරිණ.

මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකල පළමු ඩිපෝ අංගනය පසුගිය (04) වන දින බත්තරමුල්ල, තලංගම දී ජනතා අයිතියට පත්කළ අතර දෙවන ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, කඩවත – ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර ඇත.

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත.

ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පළමු ඩිපෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙට්‍රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරේ.

මෙම මාර්ගයේ නව මෙට්‍රො බස් රථ 15 ක් යොදා ජනතාවට අවශ්‍ය සුවපහසු ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම, මෙම නව ඩිපෝ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරයි.

ඩිපෝ අංගන ඉදිකිරීමේ දිගුකාලීන සැලසුමට අමතරව බස් රථ නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහසුකම්, රථගාල් ඇතුළු අනෙකුත් ප්‍රවාහන සේවා සමග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ද සිදු‌කෙරේ.

මෙම නව මෙට්‍රො බස් ව්‍යාපෘතිය පොදු ප්‍රවාහන සේවා නවීකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙලේ ප්‍රධානතම අංගයක් වන අතර 2025 අයවැය මගින් නවීන හා තාක්ෂණික පහසුකම් සහිත බස්රථ හඳුන්වාදීම සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම හරහා ඩිජිටල් වේදිකාවක් මත සේවා ක්‍රියාත්මක කිරීම ද ආරම්භ විය.

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේව මෙලෙස අත්අඩංතුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරත්න හිමි මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සඳ අයිති අමෙරිකාවට – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

සඳ අයිති අමෙරිකාවට – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

එක්සත් ජනපදයට “සඳ” අයිති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳෙහි ඡායාරූපයක් එහි පළ කර ඇති අතර එම ඡායාරූපය මත “The Moon is ours” හෙවත් “සඳ අපේ” යනුවෙන් සඳහන් කර ඇත.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඉරානය හා ඕමානය අතර පිහිටි හෝර්මුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” (Strait of Trump) ලෙස නම් කිරීමට යෝජනා කළේය.

ආරක්ෂාව සහ ආදරය.. රටම දන්න වාසනා ගැන තීරණයක්

ආරක්ෂාව සහ ආදරය.. රටම දන්න වාසනා ගැන තීරණයක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් කරඬුව වැඩම කරවන ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහැර මංගල්‍යයන් සඳහා පමණක් සහභාගි කරවීමට තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා ලබා නොදීමට තීරණය කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක සඳහන් කරයි.

මේ වනවිට 58 වැනි වියෙහි පසුවන ‘වාසනා’ හස්තියා, දිවයින පුරා ජනතාවගේ දැඩි ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ හස්තියෙකි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා ‘වාසනා’ හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවද බස්නායක නිලමේවරයා සඳහන් කරයි.

හස්තිරාජයාගේ නිදහස, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව දේවාල පරිපාලනය සඳහන් කරයි.

වීසා සහනය අහෝසියි.. අලුත් නීතිය එළියට

වීසා සහනය අහෝසියි.. අලුත් නීතිය එළියට

තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවීමට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලබාදී තිබූ පහසුකම සැප්තැම්බර් (15) වැනිදා සිට අහෝසි කිරීමට තායි රජය තීරණය කර ඇත.

සංශෝධිත වීසා නිදහස් කිරීමේ සහ වීසා ඔන් ඇරයිවල් (Visa on Arrival) ක්‍රමවේදය සම්බන්ධ නව නියෝග අගෝස්තු (31) වැනිදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නව නියෝග සැප්තැම්බර් (15) වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර තායි කැබිනට් මණ්ඩලය විසින් පසුගිය මැයි මාසයේදී අනුමත කළ වීසා ප්‍රතිපත්ති සමාලෝචනයකට අනුව මෙම සංශෝධන සිදුකර ඇත.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ දින 60ක වීසා නිදහස් කිරීමේ ක්‍රමය අහෝසි කිරීමටත්, කෙටි කාලීනව වීසා නොමැතිව ඇතුළුවීමට අවසර ලබාදෙන රටවල් ලැයිස්තුව සංශෝධනය කිරීමටත් තීරණය කර ඇත.

ජාතික ආරක්ෂාව, සංචාරක කර්මාන්තය සහ ආර්ථික අවශ්‍යතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම තායිලන්තයේ විද්‍යුත් වීසා (e-Visa) ක්‍රමවේදය ලබාගත හැකි වීම ඇතුළු කරුණු මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන ඇත.

සැප්තැම්බර් (15) වැනිදා සිට තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් එරටට පැමිණීමට පෙර අදාළ වීසා බලපත්‍රයක් ලබාගත යුතු අතර වීසා අයදුම්පත් තායිලන්තයේ නිල මාර්ගගත e-Visa පද්ධතිය හරහා ඉදිරිපත් කළ හැකි බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ පිහිටි තායි රාජකීය තානාපති කාර්යාලය වෙත පැමිණ වීසා අයදුම්පත් භාරගැනීම සිදු නොකරන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ අදාළ ගෙවීම් සියල්ල මාර්ගගතව සිදුකළ යුතු බව දැනුම් දී ඇත.

බන්ධනාගාර කෑම කන්න බෑ.. නාමල් ගෙදරින් කෑම ඉල්ලයි

බන්ධනාගාර කෑම කන්න බෑ.. නාමල් ගෙදරින් කෑම ඉල්ලයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිවසින් ආහාර ලබාගැනීමට අවසර ඉල්ලා ඇත.

බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ලබා ගැනීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ප්‍රකාශ කරමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ ඉල්ලා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.

ඔහු හමුවීමට දිනකට තුන් දෙනෙකුට අවසර ලබාදී ඇති බවත් ඔහු රඳවා ඇති වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මහ පාරට පාට තුනයි.. වාහන අංක තහඩු වෙනස් වෙයි

මහ පාරට පාට තුනයි.. වාහන අංක තහඩු වෙනස් වෙයි

සියලු විද්‍යුත් වාහන සඳහා කොළ පාට පසුබිම සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

විද්‍යුත් වාහන සඳහා නිකුත් කරන කොළපාට අංක තහඩු නීත්‍යානුකූල බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

අනෙකුත් සෙසු වාහන සඳහා සුදු සහ කහ වර්ණය සහිත අංක තහඩු නිකුත් කෙරෙන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

ලියාපදිංචි කරන ලද වාහන 88,740ක නව අංක තහඩු සකස් කර අවසන්ව ඇති බවත් 2026 ජුනි (10) වැනිදා සිට 2026 අගෝස්තු (31) වැනිදා දක්වා ලියාපදිංචි කළ අංක තහඩු 56,233 ක්ද ඒ අතර වන බවද සඳහන් කරයි.

තවද, පසුගිය 2023 හා 2024 වසර දෙක තුළ ලියාපදිංචි කළ වාහන 32,507 ක අංක තහඩුද සකස් කර අවසන්ව බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

අදාළ වාහන හිමිකරුවන්ට දැනුම් දෙන්නේ, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණ තම වාහන අංක තහඩු ලබා ගන්නා ලෙසද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

බිහිසුණු ගුවන් අනතුරක්.. 5ක් මරුට.. ගුවන් ගමන් සියල්ල නවතී

බිහිසුණු ගුවන් අනතුරක්.. 5ක් මරුට.. ගුවන් ගමන් සියල්ල නවතී

ගුවන් යානයක් ගොඩබැස්වීමේදී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇත.

මෙරට වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ Amazon සමාගමට අයත් Boeing 767 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ඇත.

අදාළ ගුවන් යානය ගොඩබැස්වූ අවස්ථාවේදී එය ධාවන පථයේ පැයට කිලෝමීටර 200ක පමණ වේගයකින් ගමන් කර ඇති බවත් පසුව ධාවන පථයෙන් පිටතට පැන අසල නවතා තිබූ මෝටර් රථවල ගැටී යානය නැවතී ඇත.

එම අවස්ථාවේදී යානය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර ජෙට් ඉන්ධන කාන්දුවක්ද සිදුව ඇති බවත් තුවාල ලැබූ තවත් පස් දෙනෙකු රෝහල් ගත කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් අනතුර සිදුවන විට මයෑමි ආශ්‍රිතව දැඩි සුළං සහිත වර්ෂාවක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අනතුරින් පසු ඇමරිකානු ගුවන් සේවා පරිපාලන ආයතනය ගුවන් තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත.

සෑම මසකම 15 වැනිදා ඉන්ධන මිලට මොකද වෙන්නේ.?

සෑම මසකම 15 වැනිදා ඉන්ධන මිලට මොකද වෙන්නේ.?

ඩීසල් ලීටරයක මිල රුපියල් 507ක් වනවිට රජය රුපියල් 100ක පාඩුවක් දරාගෙන ඩීසල් ලීටරයක් රුපියල් 407ට ලබාදුන් බවත් පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 20ක පාඩුවක් දරාගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව, IOC සමාගම ඇතුළු සියලු ඉන්ධන සමාගම් සෑම මසකම (15) වැනිදා වනවිට විකුණපු තෙල් ප්‍රමාණය ගණනය කර, ඩීසල් ලීටරයක රුපියල් 100 ගානේ සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ගානේ එම සමාගම් වලට රජයෙන් ලබාදුන් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ ජනතාවට අසීරු ලෙස බර නොදමා රජය විසින් ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාර වලට රුපියල් කෝටි 10,000ක් වෙන් කළ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“බය කරා රටේ ජනතාව තෙල් වලට පෝලිම් ඇති වෙනවා කිවුවා. විදුලිය කපනවා කිවුවා. ජනතාව බියවැද්දුවා. හැබැයි අපි බලශක්ති අර්බුදය, තෙල් සහ විදුලි අර්බුදය ඉතා හොදින් කළමණාකරණය කරා.

තෙල් හිගයක් සහ විදුලිය කැපීමක් සිද්ද වුණේ නෑ. ඒ කොහොමද කරන්නේ. ඒ විතරක් නෙමෙයි ජනතාවට අසීරු ලෙස බර දැම්මෙත් නෑ. අපි ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාර වලට කෝටි 10,000ක් වෙන් කරා.

ඩීසල් ලීටරය 407ට විකුණනකොට, ඇත්ත ගාණ 507යි. අපි කිවුවා තෙල් සංස්ථාවට 407ට විකුණන්න. අපි 100 ගානේ ආණ්ඩුවෙන් දුන්නා තෙල් ලීටරයකට. රුපියල් 20 ගානේ දුන්නා පෙට්‍රල් ලීටරයකට.

IOC එක වික්කත්, ආර් එම්පාක් වික්කත්, තෙල් සංස්ථාව වික්කත් හැම මාසෙම 15 වැනිදාට විකුණපු තෙල් ප්‍රමාණය ගණනය කරලා ඩීසල් ලීටරයක රුපියල් 100 ගානේ දුන්නා. මුහුදුයන ධීවර ජනතාවට අපි කිවුවා, දවසට ලීටර 25 ගානේ දවස් 25කට ඩීසල් ලීටර 625ක් රුපියල් 50ක් අඩුවෙන් දෙන්නම් කිවුවා.”

Follow WhatsApp Channel